ඇමරිකාව හරහා හඹා ගිය ‘හාවී’ කුණාටුවත් (Hurricane Harvey)සමඟ හූස්ටන් නගරයේ මහා මාර්ග ගංගා බවට පත්ව ඇත.
නොකඩවා ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර සමඟ පොර බදමින් සිටින ‘හූස්ටන්’ නගර බලධාරීන් තවත් දස දහස් සංඛ්‍යාත ජනකායකට ගේදොර හැරදා ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් උපදෙස් දී ඇත.


ගංවතුරට ගොදුරු වූ දෙදහසක පමණ ජනතාව බේරා ගනු ලැබ සිටින අතර තවත් දහස් ගණනක් හදිසි සේවාවන්හි පිළිසරණ පතමින් තවමත් බලා සිටින බවත් එම වාර්තා මගින් පැවසේ. ජලයෙන් යට වූ නිවෙස්වල වහල මත රැඳී සිටින ජනතාව ඉවත් කර ගැනීම සඳහා විස්සකට අධික හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඇත.
ලොකු කුඩා බෝට්ටු සිය ගණනක් මහජනයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව ඇති බවද වාර්තා වේ.
 ‘හාවි’ කුණාටුව හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත අනතුරක් සිදුව නොමැති බව ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සල් සුසන්ත ශාන් හලඹ මහතා පැවසීය.
අමෙරිකාවට වසර 12කට වරක් දරුණු කුණාටුවක් එන බවත් එය මෙවර වැඩිපුරම බලපා ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයට බවත් ඔහු සඳහන් කළේය. මීට දින කිහිපයකට ප්‍රථම වහාම ප්‍රාන්තයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
ටෙක්සාස් වේලාවෙන් පසුගිය 25වනදා සවස සිට බලපා ඇති මෙම කුණාටුව පැයට සැතපුම් 175ක වේගයෙන් මෙය ගමන් කරන බවද දින කිහිපයක් පුරා පැවතිය හැකි බව ද ශ්‍රී ලංකා කොන්සල් වරයා සදහන් කළේය.