ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී
 මෙම තරගාවලිය තම අවුරුදු 8ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ තමන් මුහුණ දුන් අසීරුතම තරගාවලිය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා පැවැසුවේ පරාජයේ සියලු වගකීම තමන් විසින් භාරගන්නා බවය. "අපිට ඕන වුණා හැකි පමණ සටන් කරන්න. ඒත් අපේ අවාසනාවට ඒක කරගන්න බැරි වුණා. අපට එක දිගට දක්ෂතාවන් පෙන්වන්න නොහැකි වීම විශාල ප්‍රශ්නයක්. ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් වශයෙන් අපි නවක
ක්‍රීඩකයන්ට මඟ පෙන්විය යුතුයි. කොහොමද තරගයක් දිනන්නේ, කොහොමද තරගයක සටන් කරන්නේ කියන කාරණය" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා කීය. "කොහොම වුණත් ආරම්භක පිතිකරණය සම්බන්ධයෙන් අපිට යම් ගැටලුවක් තිබෙන බව පේනවා. ආරම්භක පිතිකරුවන් අඩුම වශයෙන් පන්දුවාර 15 හෝ 20ක්වත් කඩුල්ලේ රැඳී සිටිය යුතුයි. එහෙම නැත්නම් එය අනෙකුත් පිතිකරුවන්ටත් යම් පීඩනයක් ගෙන දෙනවා. ඇත්තටම අපේ ක්‍රීඩකයන්ගේ ආබාධත් මෙම තරගාවලියට බලපෑවා. විශේෂයෙන්ම අපේ ප්‍රධානතම පන්දු යවන්නා වන හේරත් නොමැතිවයි අපි මේ තරගය සෙල්ලම් කළේ. ඒ වගේම නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් අපිට තරගාවලිය තුළ අහිමි වුණා. එහෙම කියලා අපිට වගකීම්වලින් නිදහස් වෙන්න බැහැ. කොහොම වුණත් මෙම පරාජය සම්බන්ධයෙන් මම ප්‍රේක්‍ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඔවුන් හැමදාමත් අපට ඉන්නවා." යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා ඉදිරියේදී මෙම පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රාහී මාවතකට පිවිසීමට උපරිම උත්සාහය ගන්නා බවය.

කෙසේ වෙතත් ඊයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි පැවැසුවේ නායකයා ලෙස කණ්ඩායම පිළිබඳව ගෞරවයක් තමන් තුළ ඇති බවය. "අපි හැම අතින්ම ඉදිරියෙන් සිටියා. මගේ කණ්ඩායමේ සියලු දෙනා දන්නවා ඔවුන්ගේ වගකීම මොකක්ද කියලා. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකළ නිසා නායකයා විදියට මට කිසිම පීඩනයක් නැහැ" යනුවෙන් කෝලි කීය.