අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සීසීටීවී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවැරීමට තරම් අවැසි කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත් නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබූ නීති උපදෙස්
අනුව මෙලෙස චෝදනා ගොනු කර නඩු පැවැරීය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙලෙස සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවැරීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15දා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනී සිටින
ලෙසටද තවදුරටත් නියෝග කරනු ලැබීය.

සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවි කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබූ සී. සී. ටී. වී. කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි අධිකරණය අනුරාධපුර මූල්සථාන පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාද මේ වන විට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද රෝලි ප්‍රනාන්දු මාවතේ පදිංචි 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 30 වැනි වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදුකර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබේ. සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මුල් බී වාර්තාව මඟින් කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක යමෙකු විසින් සී. සී. ටී. වී. කැමරාවක් සවි කර ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහකාර පරිපාලන අධ්‍යක්ෂ දුලාන් සිරිවර්ධන සමරවීර මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි.

පසුව මෙම සිද්ධිය සමබන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර රෝහල් පොලිසිය මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර වූ බවද අධිකරණයට කියා සිටි පොලිසිය අනුරාධපුර ශික්ෂණ
රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළිය තුළ සී. සී. ටී. වී. කැමරාවක් සවි කර තිබූ අයුරු තමන් දුටු බව පවසමින් එම රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිනියක විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද කීවේය.

එමෙන්ම සැකකාර වෛද්‍යවරයා අදාළ කාන්තා වැසිකිළියට යන එන අයුරු සුද්ද පවිත්‍ර කිරීමේ කාර්යයෙහි නියැළීී සිටි කම්කරු සේවකයකු දැක ඇති බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී හෙළි විණැයිද පොලිසිය අධිකරණයට සැල කළේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී. සී. ටී. වී. කැමරාවක් සවි කළේ තමන් බවට පිළිගනිමින් සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිපියක් ලබාදී ඇති බවට පොලිසිය මේ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී තවදුරටත් හෙළි වූයේ යැයිද පොලිසිය අධිකරණයට සැල කළේය. සාකකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා මහතා සඳහන් කළේ වෛද්‍යවරයාට එරෙහිව සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මෙම වරද සිදු කළ බවට රෝහල් අධ්‍යක්ෂවරයා සැකකාර වෛද්‍යවරයාගෙන් ලිපියක් ලබා ගෙන ඇත්තේ බලහත්කාරයෙන් බවද නීතිඥවරයා කීවේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස