වාහනය ඇතුළේ දොර ඇරගන්න බැරිව
පැය පහක් තිස්සේ සිරවී සිටි
පස් හැවිරිදි දරුවා මරුට



අක්කරේපත්තුව ප්‍රදේශයේ අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස වාහනයක් තුළ සිරවී මියයාමේ සිදුවීමක් ඊයේ වාර්තාවුණා.
පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා ඊයේ සිය නිවසේ සිටියදී නිවස අසළ පිහිටි පවුලේ අයට අයත් වෙළෙඳ සැලට ඔහුගේ කුඩා බයිසිකලය පදවාගෙන ගිය බව නිවැසියන් දැක තිබුණ නමුත් පැය කිහිපයක් ගතවීත් ඔහුගේ බයිසිකලය පමණක් හමුවී ඔහු සොයාගන්නට බැරිව
ගොස් තිබේ.
ඔහු යළිත් නිවසට නොපැමිණි නිසා නිවැසියන් කලබලවී දරුවා සොයන්නට උත්සුක වී තිබෙන අතර ඔහු කිසිම තැනක සොයාගන්නට බැරිව තිබේ.
පසුව ඔහුගේ පියාට ලැබුණු තොරතුරකට අනුව සොයා බැලීමේදී නිවස අසළ මාර්ගයක නවතා තිබු මෝටර් රථයක් තුළ තිබී දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබිණ.
එම මෝටර් රථය නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයාට අයිති එකක් වූ අතර ඔහු එම වාහනය පාර අයිනේ නතර කර කිසියම් රාජකාරියක් සඳහා ගොස් නැවත වාහනය ගන්නට පැමිණ ඇත්තේ සවස 5 ට පමණය.
ඔහු පැමිණ වාහනයේ දොර විවෘත කළ පසු ඉදිරිපස ආසනය අසළ කුඩා දරුවෙකු වැටී සිටිනු දැක කලබලයට පත්ව වටපිට අයට දන්වා තිබේ.එම අවස්ථාවේ මේ සිටින්නේ අතුරුදන්ව සිටි දරුවා බවට අසල්වාසීන් හඳුනාගෙන ඇත. දරුවා රෝහලට ඇතුළත් කරත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණි.
වාහනයේ පැය ගණනක් සිරවී අධික තාපයට බඳුන්වීම නිසා ඔහු දුර්වල වන්නට ඇතැයි සැලකේ.
පාරේ නවතා තිබුණ වාහනය දැක ඇතිවුණ කුතුහලය නිසා ඔහු එයට නගින්නට ඇති නමුත් පසුව එහි දොරවල් අගුළුවැටී එයින් පිටතට යාමේ ක්‍රමය සොයාගන්නට බැරිවීමෙන් මෙම විපත සිදුව තිබේ.වාහනය තුළ සිරවී සිටියදී එයින් පිටතට යාමට ඔහු උත්සාහ දරා ඇති අතර වාහනයේ ඉදිරිපස ඇතැම් කොටස් කඩා කරකවා තිබුණ අයුරින් පැහිදිලිවී ඇත.
මෙලෙස මියගියේ ඕලුවිල් අල් ජායිෂා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ලාෆීර් ඉන්ෂාෆ් නමැති දරුවෙකි.