තම හත් හැවිරිදි දරුවා අල්ලපු ගෙදර තබා තුන් හැවිරිදි දරුවාට කිරිපොවා නිදි පැදුරේ තබා 27 හැවිරිදි තරුණ මවක් නිවෙස තුළ ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් බදුල්ල මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මෙසේ මියගොස්
ඇත්තේ බණ්ඩාරවෙල මාලිගාතැන්න ප්‍රදේශයේ බ්‍රාහ්මණවත්ත පදිංචිව සිටි ආර්.ඇම්. ධම්මිකා ප්‍රියන්ති රත්නායක නමැති දෙදරු මවකි.
ඇටම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් දිසානායක (41584) මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා වන එස්.එච්. චන්දන ප්‍රදීප් (32) මහතා මෙසේ පැවැසීය.

මම යුද හමුදාවේ වාහන රියැදුරෙක් ලෙස සේවය කරනවා. අපි දෙන්නා අතර අමනාපයක් තිබුණේ නැහැ. සිද්ධිය වූ දින මම අඹගස්දොවෙ අක්කලාගේ ගෙදර ගියා. ආපසු ත්‍රීවීල් රථයකින් එමින් සිටියදී බිරිය මට ජංගම දුරකතනයෙන් කතා කර ඇය එල්ලී මැරෙනවා කිව්වා. ගෙදර ඇවිත් බලද්දී නිවසේ කාමරයක සාරියකින් ගෙල වැලලාගෙන ඇය මියගොස් සිටියා යැයි කීය.

බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ටී.කේ. විජේවීර මහතා විසින් මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බව හදිසි මරණ පරීක්ෂක ආර්.එම්.කේ. රත්නායක මහතා තීරණය කළේය.

සොරණාතොට - සේන විජේනායක