ගංවතුර නාය යෑම් වැනි විවිධ ආපදාවලදී අපේ විකාශන කාලය මිඩංගු කරන්නේ ඒ වෙනුවෙන්. එතකොට කොහොමද ශ්‍රේණිගත කිරීම්වලට ඉහළින් ඉන්නේ. අන්න ඒ නිසයි අපි මේ ශ්‍රේණිගත කිරීම් පසු පස යෑම නතර කරලා තියෙන්නේ. මේ සදහා වෙනත් පියවරක් ගත යුතුයි. මොකද ප්‍රමිතියක් නැති හරසුන් දේවල් බිහි
වෙන්න මූලික හේතුව මේ ශ්‍රේණිගත කිරීම්වල තියෙන අපැහැදිලි බව යැයි රූපවාහිනි සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා පවසයි.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විකාශන ශ්‍රේණිගත කිරීම් පිළිබඳව වාර්තාව එළි දැක්වීමේදී ජයවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේය.
ජයවර්ධන මහතා මෙසේද කීය.

"ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. එහෙත් දැනට මේ ශ්‍රේණිගත කිරීම් කළ ආකාරය පිළිබඳව ගැටලු තියෙනවා. ජාතික රූපවාහිනිය ශ්‍රේණිගත කිරීම්වලට නෑ. නමුත් සියලු සම්මාන උළෙලවලදී වැඩිම සම්මාන අපට ලැබෙනවා. අපි රාත්‍රි 7.00 - 8.00 කාලයට තිබුණු හොඳම විකාශන වේලාව 6.30 - 7.30ට වෙනස් කළා.

නමුත් අපිට ශ්‍රේණිගත කිරීම්වලට කිසිම වේලාවක යන්න බැරි වුණා. මට පොදුවේ විශ්වාසයක් තියෙනවා ඔබ කුමන මාධ්‍යයක් නියෝජනය කළත් ජාතික රූපවාහිනිය වැහෙන්න ගියොත් දුක් වෙන බව. මොකද හැම කෙනකුටම තියෙනවා ජාතික රූපවාහිනිය එක්ක බැඳීමක්. අපිට සාදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය රැකෙන නිර්මාණ කිරීමේ වගකීමක් තියෙනවා. අපි තෝරා ගත යුත්තේ මෙම වගකීම නොවෙයිද?"

ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් මඟින් අවුරුද්දක් තිස්සේ කළ සාකච්ඡාවලින් විකාශන ශ්‍රේණිගත කිරීම්වල පවතින විවිධ අසමතුලිතතා හා ගැටලුකාරී අවස්ථා හේතු කොට ගෙන සකස් කළ ශ්‍රේණිගත කිරීමේ විධිමත් ඇගයීම් වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යාංශය අධීක්ෂණය යටතේ සිදු විය. භාෂා තුනකින් සමන්විත මෙම වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මියට පිළිගන්වන ලදී.

නුවන් හෙට්ටිආරච්චි