ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමැති හා නියෝජ්‍ය ඇමැති කණ්ඩායම පෙරේදා (18දා) රාත්‍රියේත් කොළඹ ස්කෙල්ටන් පාරේ ඇමැතිවරයකුගේ නිවෙසට රැස්වී සාකච්ඡාවක් කොට තිබේ.
එම සාකච්ඡාවට
සහභාගි වූ නියෝජ්‍ය ඇමැතිවරයකු පැවැසුවේ සාකච්ඡාවට 12 දෙනකු සහභාගි වූ බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර අවසන් බවත් අපට ඉතිරිව තිබෙන්නේ ආණ්ඩුවෙන් ඉවත් වන දිනය හා ජනාධිපතිතුමා හමු වී ආණ්ඩුවෙන් නික්ම යෑම පිළිබඳව දැනුම් දීමේ දිනය තීරණය කිරීම පමණක් බවත් එම සාකච්ඡාවට සහභාගි වූ රාජ්‍ය ඇමැතිවරයෙක් කීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලනිප පක්ෂයේ ඇමැතිවරුන් සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලබන සතියේ කොළඹදී හමු වී තනතුරුවලින් ඉවත්වීමේ හා ස්වාධීන මන්ත්‍රිවරු වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන අය අතරින් කීපදෙනකු හැරෙන්නට අන් සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඔවුන් එම තීරණයෙහි පිහිටා කටයුතු කරන බව විශ්වාස යැයිද හෙතෙම අවධාරණය කළේය.

ජේ.ටී. ද සිල්වා (Mawbima)