හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අමාත්‍ය මහින්ද සමරසිංහ දන්වා තිබේ.‍

වරාය හා
නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරයා පවත්වාගෙන යාමට මෙම ගිවිසුමෙන් අපේක්ෂා කර ඇත.

අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුව වරායේ 69.55% ක කොටස් අයිතිය චීන සමාගමට හිමිවන අතර 30.45% ක කොටස් හිමිකම ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට වේ.

99 අවුරුදු බදු පදනම මත ගිවිසුම්ගත වන අතර වසර 70 කට පසුව සියලුම කොටස් වරාය අධිකාරියට මිලදී ගත හැකිය.

යෝජිත ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි සීමිත වගකීම් සහිත සමාගම් දෙකක් ආරම්භ කෙරෙනු ඇති.

ඒ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගම සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම එම සමාගම් දෙක ය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමෙන් වරායේ ආරක්ෂාව නාවික සේවා, නියමුකරණ කටයුතු ඇතුළු පොදු පහසුකම් හා සේවා සැපයීම සිදුවන අතර එහි කොටස්වලින් 50.7% ක් වරාය අධිකාරිය සතුවන අතර ඉතිරි 49.3% චීන සමාගම සතු වේ.

වරාය මෙහෙයුම් හා වත්කම් කළමනාකරණය ඇතුලු කටයුතු සිදුවනු ඇත්තේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම හරහා ය. එහි කොටස්වලින් වැඩි ප්‍රමාණයක් චීන සමාගම සතු වේ..