දුම්කොළ අඩංගු 'බුලත්විට' හැදීමත් විකිණීමත් අද (19දා) සිට තහනම් කෙරේ. එමෙන්ම දුම් රහිත දුම්කොළ හා පුවක් යනාදිය භාවිතයෙන් නිපදවා ඇති 'මාවා', 'ගුට්කා, 'පාම්පරාග්', 'හාන්ස්', 'බාබුල්' සහ 'බීඩා' යනාදිය...අලෙවිය නිෂ්පාදනය හා ගෙන්වීමද අද සිට තහනම් බවත් ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ප්‍රකාශ කරයි.

ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත යටතේ පාර්ලිමේන්තුව අනුමත කර ඇති නියෝග ප්‍රකාරව මෙම තහනම පනවා තිබේ.
බුලත්විට විකිණීම මෙන්ම දුම්කොළ සහිත 'බුලත්විට විකිණීමට තිබේ' යනුවෙන්
සඳහන් දැන්වීමක් පවා ප්‍රදර්ශනය එම නියෝග අනුව තහනම් බවද අධිකාරිය කියයි.
දුම් රහිත දුම්කොළ අඩංගු ඉහත ද්‍රව්‍ය අලෙවි කරන්නන් අල්ලා නීතිය හමුවට ඉදිරිපත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආහාර පරීක්ෂකයන්ට, සුරාබදු නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට බලය ඇති බවද ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ නීති නිලධාරී නීතිඥ නීලියා ද සිල්වා කීවාය.

ජනතාව මුඛ පිළිකාවෙන් බේරා ගැනීම මෙන්ම දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා නිසා වසරකට සිදුවන දහසකට අධික මරණ සංඛ්‍යාව වළකා ගැනීම හා වසරකට වැය වන රුපියල් බිලියන 05ක වියදම අවම කර ගැනීමද මේ පියවර ගැනීමේ අරමුණු අතර වේ.

හපන දුම්කොළ හෙවත් දුම් රහිත දුම්කොළ සහ පුවක් අඩංගු බුලත්විට හා සෙසු නිෂ්පාදන නිසා ඇතිවන මුඛ පිළිකා හේතුවෙන් ලංකාවේ දිනකට පුද්ගලයන් හතර දෙනකු මියයන බවත් පිරිමින්ට වැලඳෙන පිළිකා අතරින් පළමුවැනි ස්ථානය හිමිවන්නේ මුඛ පිළිකාවලට බවත් මුඛ පිළිකා වැලඳුණු අයගෙන් 85%ක්ම බුලත්විට කන අය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න පැවැසීය.
ඉහත කරුණු සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

(දයා පෙරේරා)