තර්ජනය කොට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයන් තුන් දෙනකුගෙන් එම සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු තුන්දෙනෙක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඳ සමාව ඉල්ලා සිටියහ.
ඒ අනුව ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ රවි අබේවික්‍රම, කුමාර අලගියවන්න සහ කාංචන මාරසිංහ යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනුකර තිබිණි.
පැමිණිලිකරුවන්
පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ උපමානවලට අනුකූලව කටයුතු කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් නියෝගයක් නිතුත් කළ බවයි. එම නියෝගයට අනුකූලව කටයුතු කරන්නැයි තමන් එවකට සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ට බැනවැදී පහරදුන් බවද පැමිණිලිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබිණි. එම නඩුව ඉකුත්දා (14දා) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දක්වමින් විත්තිකරුවන් විවෘත අධිකරණයේදී පැමිණිලිකරුවන්ගෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට සූදානම් බව කියා සිටියේය.

ඊට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විරෝධය පළ කළේ නැත.
ඒ අනුව ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා විවෘත අධිකරණයේදී පැමිණිලිකරුවන්ගෙන් වැඳ සමාව ඉල්ලා සිටියේය. ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තිකරුවන් මුදා හැරීමට ද නියම කළේය.

කේ.එස්. උදයකුමාර්