ශ්‍රී ලංකාවේ සියලුම තැපැල් කාර්යාලවලින් ජල බිල්පත් ගෙවීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලබාදෙමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීම ඊයේ (18දා) ජාතික ජල සම්පාදන මණ්ඩලයීය ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
ජාතික ජල සම්පාදන
හා ජලාපවහන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතාත්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තැපැල්පති රෝහණ අබේරත්න මහතාත් මේ ගිවිසුමට අස්සන් තැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා පැවැසුවේ ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයන් ලක්‍ෂ 22ක් පමණ සිටින අතර ඉන් වැඩිම පිරිසක් සිටින්නේ ගම්බිම්වල ජීවත්වන පිරිස නිසා මේ ගිවිසුම් මඟින් ඔවුන්ට තම ජල බිල්පත් ගෙවීම ඉතා පහසු වන බවයි.
මේ ගෙවීම් වෙනුවෙන් ජල පාරිභෝගිකයන්ගෙන් රුපියල් 5ක පමණ සුළු බදු මුදලක් අය කෙරෙන බවද හෙතෙම පැවැසීය.

මේ ගිවිසුමට අස්සන් තැබීමේ අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ෂෆීක් රාජාබ්ඩීන්, එම ආයතනයේ සාමාන්‍යාධිකාරී ඩී.යූ. සුමනසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

(ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)