පවතින විදුලි අර්බුදය හමුවේ ජනතාව මෙගාවෝට් 25ක් වත් ඉතිරි කර ගත යුතු බවත් ඉදිරියේදී වායුසමන යන්ත්‍ර සෙල්සියස් අංශක 26ක පවත්වාගෙන යෑමට චක්‍රලේඛයක් ගෙන එන බවත් විදුලි බල හා
පුනනර්ජනනීය බල ශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ඉන්ජිනේරු බල ප්‍රදේශයේ
දැරණියගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි කාර්යාල රුපියල් මිලියන 37ක වියදමකින් ඉදිකිරීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
මේ වන විට අපි දරුණු නියඟයකට මුහුණ දීලා තිබෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා තව මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. 2006 වසරෙන් පස්සේ ලොකුම නියඟයටයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. මේක අපිට ලොකු අභියෝගයක්. අපි ළඟ ජලයත් හිඟයි. ඒ අනුව විදුලිය නිපදවීම සඳහා ඩීසල්, ගල් අඟුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් මේ සඳහා යන වියදම ජනතාව පිට පටවන්න බෑ.
මේකට අවශ්‍ය සියලු දේවල් පිළිබඳ අපි මේ වන විට කැබිනට් මණ්ඩලයත් දැනුවත් කරලයි තිබෙන්නේ. අපේ විදුලි ගැටලුව ගැනත් දිය යුතු විසඳුම් ගැනත් රජය එකඟ වෙලා තියෙන්නේ, අපිට ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ ඒ සඳහා සහයෝගය දෙන්න කියලා. අපි විතරක් නෙමෙයි මුළු ආසියාවේම මේ නියඟයෙන් පෙළෙනවා. මේක අපි සියලු දෙනාම බෙදා හදා ගන්න ඕන.

(හර්ෂනී අර්සකුලරත්න)