රතුපස්වල සිද්ධියේදී
හමුදාවට අණදුන් බ්‍රිගේඩියර් රිමාන්ඩ්

පසුගිය 2013 වසරේ රතුපස්වල ප්‍රදේශවාසීන්
වැල්ලවේරිය නගරයේදී පානීය ජලය ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණදුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන පුද්ගලයන් තිදෙනකු
ඝාතනය කිරීම,
මීනීමැරීමට තැත් කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර අද උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ නියෝග කළේය.
 2013 අගෝස්තු 01 වනදා රතුපස්වල වැසියන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කිරීම නිසා 3 දෙනෙකු මියගොස් 33 දෙනෙකුට තුවාල සිදු විය. මේ සම්බන්ධයෙන් මීට පෙර සෙබළුන් තිදෙනෙක් ද අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙති.
ධම්මික පෙරේරාගේ වෙනිග්‍රොස් කර්මාන්තශාලවට එරෙහිව උද්ඝෝෂණය කළ ජනතාවට එරෙහිව මෙම ප්‍රහාරය දියත්වූ අතර මෙම සිද්ධියෙන් පසු අදාළ මරණ සමබන්ධයෙන් පසුගිය රජය කටයුතු කළ ආකාරය සාධාරණ නොවන බවට කථිකාවක් ගොඩ නැගිණි.