පිළියන්දලදී පොලිස් නිලධාරියෙකු මරු දුටු
පොලිස් කුඩු රෙයිඩ් එක  - පාතාලෙ මධුෂ්ගේ ලණුවක්

පෙරේදා රාත්‍රී පිළියන්දල ප්‍රදේශයේදී මත්කුඩු වැටළීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර මේ වනවිට වාර්තාවන්නේ එම වැටළීම  පාතාලයෙන් යෙදවූ අයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස රඟපාමින් පොලිසියට බොරු ඔත්තුවක් ලබාදී වටේ යවමින්
කුඩු විකුණන අය අල්ලන්නට යන පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සිද්ධ කරන ලද්දක් බවයි.
දැනට සිදුකරන පරීක්ෂණ අනුව සොයාගෙන ඇති පරිදි කුඩු කිලෝ 3ක් විකුණන්නට ඇතැයි පොලිසිය නොමග යවමින් බොරු ඔත්තුවක් ලබාදී
ඇත්තේ කුඩු විකුණන දකුණේ පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකි. මත්දුව්‍ය වැටළීමේ නිරත දක්ෂ පොලිස් නිලධාරීන් බිලිබාගැනීමේ අදහසින් මෙම බොරු ඔත්තුව ලබාදී වෙස්වළාගෙන කුඩු මිලට ගන්නට එන්නැයි මධුෂ්ගේම තවත් ගෝලයෙකු වෙත පොලිසිය ලවා ඇමතුම් ලබාදී තිබෙන අතර රුපියල් ලක්ෂ 40 කට එම කුඩු තොගය ලබාදීමට සූදානම් බව කියමින් ගනුදෙනුව කථාකරගෙන ඇත.

දැනට බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අති දක්ෂ පොලිස් නිලධාරියෙකුවූ පොලිස් පරීක්ෂක රංගජීව මෙම වෙස්වළාගෙන සිදු කරන වැටළීම වෙනුවෙන් මුල්වී ඇත. ඔහු

කුඩු විකුණන පුද්ගලයා සමග දුරකථනයෙන් ඇති කරගත් එකඟතාවය මත මින් දින කිහිපයකට පෙර මුදල්ද රැගෙන දෙහිවල ප්‍රදේශයේ  නම් කළ ස්ථානයකට කුඩු මිලට ගනිද්දී වැටළීම සිදුකරන සූදානමින් ගමන් කර තිබුණ නමුත් පාතාල ගෝලයා එම අලෙවිය එදින පසුව වෙනස් කර බොරලැස්ගමුවට එන්නැයි දන්වා ඇත. පසුව රංගජීව ප්‍රමුඛ පිරිස බොරලැස්ගමුවට ගමන් ගත් පසු එයද වෙනස් කර ඇත.

සිද්ධියට දින දෙකකට පෙර පිළියන්දල ස්ථානයක් දන්වා ඇත්තේ ඉන් පසුය. පොලිස් කණ්ඩායම පාතාල ගැටයට හසුවී තිබෙන අතර අල්ටෝ වර්ගයේ කුඩා මෝටර් රථයෙන් රංගජීව ප්‍රමුඛ නිලධාරීන් රුපියල් ලක්ෂ 40ක්ද රැගෙන වැටලීම සඳහා යද්දී පිළියන්දල තැනින් තැන නම් කරමින් පොලිසිය වටේ යවා මහජන බැංකුව අසළට එන්නැයි අවසානයේ දන්වා සිටීමෙන් පසු මෙම ප්‍රහාරය සිදු කර තිබුණි. සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මොවුන්ගේ වාහනයට තැබූ වෙඩි පහර නිසා පොලිස් කොස්තාපල් වරයෙකු මියගිය අතර තවත් පොලිස් කොස්තාපල් වරයෙකුට සහ පොලිස් පරීක්ෂක රංගජීවට බරපතල තුවාල සිදුවිය.වෙඩි වටේටම තැබූ නිසා අසල වෙළඳසැලක සිටි කුඩා දරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු ද
තුවාල ලබා ඇත. තුවාල ලැබු ගැහැණු දරුවෙකුගේ තත්වය බරපතල බවද වාර්තා විය

ප්‍රහාරය සිදු කරන්නට උදව් කරගත් යතුරුපැදිය මහරගම දෙහිවල පාරේ හැරදමා ගොස් තිබියදී පසුව හමු විය.
මෙම වැටළීම සඳහා මුල්වූ පොලිස් පරීක්ෂක රංගජීව මේ වනවිට සිද්ධියෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට උරහිසට කොන්දට හා පපුවට වෙඩි වැදී බරපතල තත්වයේ පසුවන බව වාර්තාවෙයි.
මින් ඉහත 2016 වසරේ හෙරොයින් කිලෝ 111 සමග ඉරාන ජාතිකයෙකු අල්ලාගැනීමේ දැවැන්ත වැටළීමටද මුල්වූයේ රංගජීව මහතාය. දැනට පොලිසියේ සිටින වැඩිම මත්ද්‍රව්‍ය වැටළීම් සිදුකර ඇති තැනැත්තා වන්නේද ඔහුය.
ව්‍යාජ පොලිස් ඔත්තුවක් නිර්මාණය කරමින් පාතාල නායක මධුෂ් මුල්වී මෙම ප්‍රහාරය සැලසුම් කරන්නට ඇත්තේ රංගජීව මහතා ඝාතනය කිරීමේ අරමුණින් බවටද පොලිසිය සැක කරයි.
පොලිසිය නොමග යවන ලද පුද්ගලයා මින් ඉහත මත්කුඩු සමග අසුවී පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවද පසුව හෙළි වී තිබේ. ඔහු සිය දුරකථනය මේ වනවිට විසංධි කරගෙන සිටින අතර ඔහු සහ මෙම ප්‍රහාරය සිදුකළ අය සෙවීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.