කෝටි තුනක ජයග්‍රහණයක් සතුවූ ලොතරැයිපත බිරිය විසින් සඟවා තබාගෙන සිටින බවට සැකයෙන් කල් ගෙවූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විශ්‍රාමලත් ආරක්‍ෂක නිලධාරියකු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අනුරාධපුර විජයපුර
ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි දෙදරු පියකු මෙසේ නිවෙසේ මුළුතැන්ගෙයි බාල්කයේ නයිලෝන් නූලක් ආධාරයෙන් තොණ්ඩුවක් සකසා ගෙල වැලලාගෙන ඇති අතර ඔහු නූල කැඩී බිම ඇදවැටී උඩුකුරුව වැටී මියගොස් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.
දිවිතොර කරගත් මරණකරුගේ බිරිය නොච්චියාගම පදිංචිව සිටින දියණියට දරුවකු ලැබීම නිසා එහි ගොස් සිටියදී විශ්‍රාමිකයා සිය කැමැත්තෙන් අනතුර සිදුකරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කෙළේය. ඔහු මානසික ආතතියෙන් පෙළී සිටි බවත් මීට පෙරත් අවස්ථාවකදීත් කෘෂි රසායන වර්ගයක් පානය කර දිවිතොර කර ගැනීමට උත්සාහ කර අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගත් අයකු බවත් පොලිසිය පැවැසුවේය.

මරණකරුට මීට වසර දෙකකට පමණ ඉහතදී ලොතරැයියකින් ඇදුණු සුපිරි ත්‍යාගය වන රුපියල් කෝටි තුනක ලොතරැයිපත බිරිය විසින් සඟවාගත් බවට සැක කරමින් ඇය සමඟ විවිධ අවස්ථාවලදී රණ්ඩුසරුවල් සිදුකර ගත් බවත් තමන් සැමියාට ජය හිමිවූ ලොතරැයියක් සොරකම් කිරීමක් සිදුනොකළ බවත් ඔහුගේ බිරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් පැවැසුවාය. සිය සැමියා මානසික ව්‍යාධියකින් පෙළෙන බව වෛද්‍ය පරීක්‍ෂණයකදී වෛද්‍යවරුන් තහවුරු කර තිබෙන බවද ඇය වැඩිදුරටත් සාක්‍ෂි ලබාදෙමින් පැවසුවාය.

මරණය සමබන්ධයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එච්.එම්. කුලසේකර මහතා හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සංජන මහතා (7755) මරණ පරීක්‍ෂණ සාක්‍ෂි
මෙහෙය විය.
(අනුරාධපුරය - මහේෂ් විජේසූරිය)