කැබිනට් සංශෝධනයක් සිදුවුවද අමාත්‍යාංශ කටයුතු නිසි ආකාරයට සිදු නොවන්නේ නම් ජනාධිපතිවරයා යළි කැබිනට් සංශෝධනයක් කිරීමට කිසි ලෙසකින්වත් පසුබට නොවන බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද
අමරවීර මහතා ප්‍රකාශ කරයි.
කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයා දීර්ඝ කාලයක අධ්‍යයනයක නිරත වූ බවත් ඒ සඳහා ජනතා මතවාද, පුද්ගල මහතවාද
මෙන්ම ජනමාධ්‍ය හරහා ලෝකයට ගෙන ගිය බොහෝ තොරතුරු පාදක කරගත් බව පැවැසූ අමාත්‍යවරයා එම දීර්ඝ අධ්‍යයනයක තුළ දී විවිධ දේශපාලන මත දරන්නන්ගේ උපදේශකත්වයටද ලක් වූ බව ඊයේ (24දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මූල්‍ය වංචා පිළිබඳවත් අමාත්‍යාංශ තුළ සිදු වූ අක්‍රමිකතා පිළිබඳවත් මහජන මතවාදවලටත් සේවක ප්‍රශ්න හමුවේ ඔවුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයා දැවැන්ත අධ්‍යයනයක, යෙදුණ බවත් පැවැසූ අමාත්‍යවරයා සිය අමාත්‍යංශ පවත්වාගෙන යෑමේදී මහජන සුබ සිද්ධිය පිණිස මැති ඇමැතිවරුන්ට කැපවන ලෙස කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනැමීමේ උත්සවයේදී කළ ප්‍රකාශයෙන් තහවුරු වන බවද කීය.

තමාට හිමි අමාත්‍යාංශ පිළිබඳව කලකිරීමෙන් හෝ වැඩ නොකර අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති අමාත්‍යාංශ පිළිබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට නියමිත බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස් වන බවද ප්‍රකාශ කළේය.

පණ්ඩුක සමරසේකර