රාජගිරිය ‘හොල්මන්‘ ඔෆිස් එකේ කාන්තාව
දෙඅත් හා උදරය කපාගෙන
නිවසේදී අභිරහස් ලෙස මියගිහින්



කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසකදී කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය.
මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති කුමුදුනී (45) නැමැති විවාහක කාන්තාවකි. ඇය රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නියකි.
ඇයගේ මරණයට රාජකාරී ස්ථානයේ කිසියම් ගුප්ත සිදුවීමක් සම්බන්ධ බවට
මේ වනවිට තොරතුරු ගොනුවී පවතියි.

සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සාක්කි කැඳවීමේදී අධිකරණය වෙත කරුණු දක්වමින් ඇය සේවය කරන පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරි බමුණුආරච්චිගේ උමේෂ් මධුෂාන් (30) යන අය මෙසේ කියා තිබේ.

“අප ආයතනය ජපානයේ අයිතිකරුවකුට අයත් එකකි. මිය ගිය මරණකාරිය අප ආයතනයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබනවා. මීට පෙර මෙම ආයතය ඇතුළුකෝට්ටේ පවත්වාගෙන ගියා. පසුව මෙම බුත්ගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණියා. මෙම නිවසේ ඉතා අමුතු දේවල් සිද්ධ වෙනවා. වැසිකිලියට ගොස් වතුර වසා පැමිණියත් වතුර යන ශබ්ද ඇසෙනවා. අමුතු ශබ්ද ඇසෙනවා. මේස පුරා කුණු ජරාවලින් තවරා තිබෙනවා. දිනක් මරණකාරියගේ කෑම පාර්සලයේ මාළු කෑල්ල නැතිවෙලා තිබුණා. අපි මේ ගැන අයිතිකරුට දන්වනු ලැබුවා. පසුව අයිතිකරු ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා තිබුණා. පසුව සති දෙකකට උඩදි කට්ටඩි වැඩක් කෙරුවා. මේ 08 වැනිදා මරණකාරිය රාජකාරියට පැමිණ ‍දොඩවන්නට පටන් ගත්තා. ඒ අනුව අප ඇයගේ සැමියා හට මේ බැව් දැනුම් දීමෙන් පසුව ඇයව සැමියා ගෙන ගියා.”

මිය ගිය අයගේ සැමියා වන එස්. ඒ. ඩී. ශාන්ත කුමාර (49) යන අය සාක්කි දෙමින් මෙසේද කීය.

“මෙලෙස මියගොස් ඇත්තේ මගේ බිරිය. අප විවාහ වී දැනට වසර 18ක් පමණ වෙනවා. අපට දරුවන් නැහැ. බිරිය රාජගිරිය පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. බිරියගේ කාර්යාලයෙන් දුරකථන ඇමැතුමකින් පසුව මා බිරියව නිවසට ගෙන ආවා පෙරවරු 8.30ට. ඇය මද වෙලාවක් නිදාගෙන නැවත රැකියාවට යා යුතුයි කියා කිව්වා. මා ඒ අනුව ඇයව ආයතනය වෙත ගෙන ගියා. පසුව නැවතත් උදේ 10.30 පමණ නිවසට පැමිණ නිදාගෙන සිටියා. දහවල් 12.00 පමණ ආයතනයේ උමේෂ් යන අය පැමිණ මුදලින් රුපියල් 25,000ක් මා වෙත ලබා දුන්නා. ඒ ඇයගේ වේතනය බවද දන්වා සිටියා. පසුව මා ගරාජය වෙත ගියා. ඉන් අනතුරුව දහවල් 01ට පමණ බිරිය කතා කළා. ශබ්දයක් ආවේ නැහැ. මා නිවසට ඇතුළු වී කාමරය වෙත ගියා. එහි ඇය නොසිටි නිසා කුස්සිය වෙත ගොස් බලන විට ඇය මුණින් අතට වැටි ලේ ගලමින් සිටියා. ඇගේ දෙඅත්හා උදරය කැපී තිබුණා.
මා එසැණින්ම කොළඹ ජාතික රෝහලට ගෙන ගියා. මා ඇයගෙන් සිද්ධවුනේ කුමක්දැයි මොන තරම් විමසුවත් ඇය කිසිවක් කිව්වේ නැහැ.”

සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය අධිකරණය වෙත මියගිය මරණකාරිය විසින් ලියා ඇති සටහන් කීපයක් ඉදිරිපත් කළේය. එහි ඇය මෙසේද සඳහන් කැර තිබිණි.
“මම වරදක් කළේ නැහැ. උමේෂ් වරදක් කළෙත් නැහැ. මම හිතල හිතලා කලබල වුණා. මම නිර්දෝෂයයි. නමුත් මගේ කලබලය නිසා මගේ මනස අවුල් වුණා. ඇත්තටම මාව මානසිකව වැටිලා. මට ආයතනයේ වැඩ කරන්න බයයි.
ප්‍රියන්ති”

මේ පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දීමට කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි තීරණය කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී වැඩිදුර පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත බැව් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත දැන්වීය.
ඒ අනුව ලබන මස 31 වැනිදාට වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට බොරැල්ල පොලිසියට නියෝග කළේය.