ජල විදුලි හිඟය හා
නොරොච්චෝලේ ගැටලුව නිසා

හොරෙන් හොරෙන් ලයිට් කපලා

පසුගිය දිනවල ඇතිවූ ජල විදුලි ධාරිතා හිඟය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇතිවූ ගැටලු මත ජනතාවට නොදන්වා පැය, පැය බාගය මිනිත්තු 15 ආදී ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බල විසන්ධි කිරීම් සිදු කර ඇති බව අනාවරණය වෙයි.
මෙම විදුලි බල විසන්ධි කිරීම් ජනතාවට පූර්ව දැනුම් දීමකින් පසුව සිදු කර නොමැති අතරම ඒවා සිදු කළ පසු ඒ ආකාරයට කළ බව පවා
ජනතාවට හෝ මාධ්‍ය වෙත

හෝ නොදන්වා සිටින්නට මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් පසුගිය දිනවල දහවල් හා රාත්‍රියේ ජනතාවට වරින්වර අපහසුතා ඇති විය.

නොරොච්චෝල බලාගාරයේ දෝෂ හා මේ දිනවල පවතින වියළී කාලගුණය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය අඩාළවීම මෙම විදුලි කප්පාදුවට හේතුවී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දන්වා සිටින්නේ තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහතට වැටී ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය 12%ක් දක්වා අඩුවී තිබෙන බවත්, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය නිෂ්පාදනය 34%ක් දක්වා අඩුවී තිබෙන බවත්ය.

මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවැති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් තිබේ. එසේම රාත්‍රී කාලයේදී මෙගාවොට් 2470ක ඉල්ලුමක් 10% ක වැඩිවීමක්ද වාර්තාවී ඇත.

මේ නිසාම ලබන අඟහරුවාදා මැයි මස 02 දින සිට කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමටද දැනුම් දීම් කර තිබේ.
නිවෙස් පාරිභෝගිකයින්ගේ විදුලි කප්පාදුව රහසේම සිදු කළත් එවැනි කාලසටහනක් ගැන තවම නිල වශයෙන් දැනුම්දී නැත.