ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැරිසරන එකසිය තිහකට අධික සුනඛ රංචුවක්‌ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඊයේ (18 වැනිදා) පැවැසීය.

පසුගිය
මාස දෙකේදී පමණක්‌ ශිෂ්‍යයන් හා අනධ්‍යයන සේවකයන් 18 දෙනකු සපාකෑම්වලට ලක්‌ව ඇති අතර ශිෂ්‍ය අධ්‍යයන හා අනධ්‍යයන යන සියලුම කණ්‌ඩායම්වල දැඩි ඉල්ලීම මත මෙම සුනඛයන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාලය ගෙනයන ක්‍රියාමාර්ගවලට ඇතැම් සංවිධාන විරෝධය පළ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යෑයි විශ්වවද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරයි.

මෙම සුනඛ උවදුර ඉවත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට භාරදුන් බවත් එම ආයතනය සුනඛයන් මරා දමන බවට ඇතැම් සංවිධාන ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරී වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

සුනඛයන් සඳහා වෙනම ස්‌ථානයක්‌ වෙන්කර අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල පරිපාලනය කලක සිට සැලසුම් කරමින් සිටින නමුත් සුනඛයන් වෙනුවෙන් කතා කරන කිසිවකු එම කාර්යය භාර ගැනීම සඳහා මෙතෙක්‌ ඉදිරිපත් වී නැති බවද පැවසේ.
නිලන්ත මදුරාවල