රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ
මහතා තමන්ට
ඇප ලබා නොදීම පිළිබඳව විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) සිට අඛණ්‌ඩ උපවාසයක්‌ අරඹා තිබේ.
මන්ත්‍රීවරයා රඳවා සිටින සිරමැදිරියේ සිට මෙම උපවාසය ආරම්භ කර ඇති අතර ඊයේ (22 දා) පෙරවරුවේ සිට ඔහු කිසිදු ආහාරයක්‌ ලබා නොගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.
මන්ත්‍රීවරයා සිය සිරමැදිරිය තුළ වැතිරී මෙසේ උපවාසයේ නිරතව සිටින අතර ඔහු ඊයේ දිනය තුළ ලබා ගත්තේ ජලය පමණක්‌ බවද හෙතෙම පැවසීය.
විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයන් කොළඹ මහාධිකරණයට ගොනු කර තිබූ ප්‍රතිශෝධන ඇප අයෑදුම පෙරේදා (21 දා) ප්‍රතික්‍ෂෙප කෙරිණි.
රජයේ වාහන අවභාවිතයට අනුබල දීම යන චෝදනාව යටතේ එෆ්සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගනු ලැබූ විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර දැනට මාස දෙකකට අධික කාලයක්‌ ගතවී ඇති අතර තමන්ට ඇප ඉල්ලා ගොනු කළ ඇප අයෑදුම ප්‍රතික්‍ෂේප වීමත් සමඟ මන්ත්‍රීවරයා මෙම උපවාසය ආරම්භ කළේය.