රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී උපවාස කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.


මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පිටතට ගෙනවිත් ඇතිද යන්න සැකයට භාජනය වී තිබේ.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යැවීම නිසි ක්‍රමවේදය වුවත් ඔහුට පමණක් විහේෂයක් සිදු කර තිබීම ගැටලුවට මුල්ව ඇත.
කෙසේ වෙතත් විමල්ගේ ජීවිතය අනතුරේ යනුවෙන් පොස්ටර ව්‍යාපාරයක් දියත්ව විමල් රෝහලේදීත් උපවාසය අත්නොහරින බව ප්‍රකාශවී තිබුණද විමල් වීරවංශ රෝහලේදී යහමින් ආහාර අනුභව කළ බවත් මේ වන විට විමල් වීරවංශ මහතාගේ තත්ත්වය යහපත් බවත් බන්ධනාගාර ආරංචි සැලකර සිටී.