සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු කතානායකවරයාට විරෝධය පළ කරමින් ඊයේ දහවල් පාර්ලිමේන්තු රැස්වීමෙන් පිටව ගියහ.ෙ මේ නිසා කතානායකවරයාට පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයකුට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සභාවෙන් පිටව ගිය මුල්ම අවස්ථාව මෙයි වෙයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ කතානායකවරයාට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියේ පැය එක හමාරක පමණ කාලයක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට
කතා කිරීමට ඉඩදීම සම්බන්ධව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයෙන් පසුවය.
කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට පමණක් එක දිගට කතා කිරීමට ඉඩදීමෙන් ආණ්ඩු පක්ෂයට බලවත් අසාධාරණයක් වූ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
පාර්ලිමේන්තුවේ කාලය පැය එක හමාරක්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කතා කිරීමට ඉඩදීම, කිසිසේත් අනුමත කළ නොහැකි බවද සභා නායකවරයා සඳහන් කළේය.
අවස්ථා කීපයකදීම නැඟී සිට මේ අන්දමින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අදහස් පළ කිරීමට ඉඩ නොදෙන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියද පලක් නොවූ නිසා ඊට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු සමඟ සභාවෙන් පිටව ගිය බවද සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය. තීන්දුවක් ප්‍රකාශ කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම සභාවේ කටයුතු ආරම්භයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අදහස් පළ කිරීමට කතානායකවරයා ඉඩ දුන් බවත් මේ නිසා න්‍යාය පත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවූ බවත් සභා නායකවරයා පැවැසීය.

ජේ. ටී. ද සිල්වා- උදේනි සමන්කුමාර