කළුතර, එතනමඩ‍ලේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පාතාලයේ
පස්දෙනකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඝාතනයට මුල්වූ පාතාල නායකයන් දෙදෙනා වන අංගොඩ

ලොක්කා හා අතුරුගිරියේ
ලඩියා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුහුදු යාත්‍රාවල සහාය
ඇතිව රටින් පැන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරයේ සැලසුම්කරු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දෙන
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහායෙන් මෙම පිරිස ඉන්දියාවේ තෙල් බාලාගේ අණසක
පැතිරුණ ‘තෙල් බාලා බෝඩර්’ නමැති ප්‍රදේශයට බෝට්ටු මගින් මුලින්ම ගොස් එතැන් සිට ආරක්ෂිත
ස්ථානයක් කරා මධුෂ් විසින් ගෙන්වාගෙන ඇතැයි හෙළි වී තිබේ.

සමයං ඝාතන මෙහෙයුමෙන් පසුව අංගොඩ ලොක්කා හා ලඩියාව බෝට්ටු මගින් රටින් පන්නන බවට මධුෂ් දුන් පොරොන්දුවක් මත මෙය සිදුවී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඩුබායිහි සිටි මාකඳුරේ මධුෂ්ද මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ
ගිය බවටද බුද්ධි අංශවලට කලින් තොරතුරු ලැබි තිබුණි.
ප්‍රහාරයෙන් පසුව දකුණු පළාතට පැනගොස් මධුෂ්ගේ සගයන්ගේ සහාය මත මෙම පිරිස ඉන්දියාවට
පැනගිය බවත් ඉන්දියාවේ සිට කුමන රටකට පැන ගියාද යන්න හෙළි නොවුණු බවත් විමර්ශන නිලධාරියෙක්
අනාවරණය කළේය.

ප්‍රහාරයට පැමිණි සෙසු සාමාජිකයන් අට දෙනා අතරින් බත්තරමුල්‍ලේ බන්ටි ‍පොලිස් විශේෂ කාර්ය
බළකා බුද්ධි කොට්ඨාසය මගින් සෙල්ලකතරගමදී 21දා අත්අඩංගුවට ගත් අතර සෙසු සාමාජිකයන් රට තුළම
සිටින බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබුණි.

(තිස්ස රවීන්ද්‍ර පෙරේරා-රිවිර)