ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය කොළඹ පී. සරවනමුත්තු පිටියේදී අද (15දා) ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ
ඔවුන් සහභාගි වන 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර, මෙම තරගයට පෙර ඔවුන් ටෙස්ට් තරග 99කට සහභාගි වී තරග 8ක් ජයගනිමින් තරග 76ක් පරාජයට පත්වී තිබේ.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික ශක්තිය ඉහළ මට්ටමක පවතින හෙයින් අදින් ඇරඹෙන දෙවැනි තරගය හෝ ගෞරවනීය ලෙස අවසන් කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම උපරිම උත්සාහයක් ගනු ඇතිවාට සැක නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය හා දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් වුවද අද තරගයේදී පිතිකරණ
අංශයේ යම් වෙනසක් සිදු විය හැකි බවද පැවැසේ. ඒ අනුව මෙයට පෙර ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා ධනුෂ්ක ගුණතිලක එක් කර නොතිබුණද අද ආරම්භ වන දෙවැනි තරගය සඳහා ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබීම මෙයට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් පැවැසුවේ කණ්ඩායමේ සංයුතිය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය. "පී. සරා තණතීරුවත් ගාල්ල තණතීරුවට බොහෝ සමාන තණතීරුවක් වුණත් උදය වරුවේදී මෙම තණතීරුවේ යම් ඉපිලීමක් ඇති නිසා වේගපන්දු යවන්නන්ට යම් සහයෝගයක් ලැබේවි. ඒත් අවසන් දිනවලදී දඟ පන්දු යවන්නන්ට වාසිදායක වේවි කියලා හිතනවා" යනුවෙනි.

මේ අතර කණ්ඩායමේ මානසිකත්වය පිළිබඳව අදහස් දැක්වූ රංගන පැවැසුවේ මෙවන් අදහසකි. "ගාල්ලේදී පැවැති පළමු තරගය ජයගත් නිසා ඉහළ මානසිකත්වයක් අපට තියෙනවා. ඒ වගේම හැම කෙනකුගේම ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ගොඩනැගී තියෙන නිසා ඒක ඉදිරියට හොඳයි."

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම ක්‍රීඩා පිටියේදී තරග තුනක් පවත්වා ඇති අතර, එම තරග තුනේදීම ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ ඉනිමකින් වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ මෙම පිටියේදී තරග 19කට සහභාගි වී තරග 9ක් ජය ගෙන ඇත. මේ අතර බංග්ලාදේශ 100 ටෙස්ට් තරග සැමරුම වෙනුවෙන් තරගයට සහභාගි වන සෑම ක්‍රීඩකයකුටම සුවිශේෂී පදක්කම් පිරිනැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇති අතර එම පදක්කම් පිරිනැමීමේ අවස්ථාව අද තරගය ආරම්භ වීමට ප්‍රථම (උදෑසන 8.30ට පමණ) පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය_ උපුල් තරංග, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත් (නායක), සුරංග ලක්මාල්, ලක්‍ෂාන් සඳකැන් හා ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, මලින්ද පුෂ්පකුමාර

(විචිත්‍ර වීරසිංහ)