යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී 26 දා රාත‍්‍රියේදී කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කුරුණෑගල, හිදගොල්ල ප‍්‍රදේශයේ පදිංචි එච්. සමරසේකර බණ්ඩා නැමැති ව්‍යාපාරිකයෙකි. කුරුණෑගල, ගැට්ටුවාන හන්දිය ආසන්නයේ පිහිටි රටබීම අලෙවිහලක හිමිකරුවෙකු වන සමරසේකර මහතා එක් දරු පියෙකුද වෙයි.

රාත‍්‍රි 10 ට පමණ රටබීම අලෙවිසැල වසා දැමූ
සමරසේකර මහතා ඔහුට අයත් අයත් කැබ් රථයෙන් හිදගොල්ලේ පිහිටි නිවස බලා පිටත් වී ඇත. මෙම ගමනට සමරසේකර මහතාගේ නිවස ආසන්නයේ පදිංචි ලී බඩු ව්‍යාපාරිකයෙකුද එක් වී ඇති අතර කැබ් රථය පදවා ඇත්තේ එම ව්‍යාපාරික මිතුරා විසිනි. උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධියට නුදුරුව පිහිටි මිතුරාගේ නිවස අසලදී ඔහු කැබ් රථයෙන් බැසගෙන ඇති අතර එතෙක් වේලා වාහනයේ ඉදිරි අසුනේ වාඩි වී පැමිණි සමරසේකර මහතා රියදුරු අසුනට මාරුවීම සදහා කැබ් රථයෙන් බිමට බැස තිබේ. එවිටම යතුරු පැදියකින් එතැනට පැමිණි දෙදෙනෙකු සමරසේකර මහතා වෙත පිස්තෝලයක් එල්ල කරමින් මුදල් ඉල්ලා තර්ජනය කර තිබේ. තමන් අත මුදල් නැති බව සමරසේකර මහතා ප‍්‍රකාශ කර ඇති අතර එහිදී අහසට වෙඩි කිහිපයක් තැබූ කොල්ලකරුවන් සමරසේකර මහතාගේ කමිස කොලරයෙන් අල්ලාගෙන මුදල් ඉල්ලමින් දිගින් දිගටම තර්ජනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මුදල් නොලැබීමෙන් උරණ වූ කොල්ලකරුවන් සමරසේකර මහතා පපු පෙදෙසට වෙඩි තබා ඔවුන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගොස් ඇති බවද පොලිසිය කියයි. කොල්ලකරුවන් විසින් මුදල් යැයි වරදවා වටහාගැනීම හේතුවෙන් සමරසේකර මහතාගේ අතෙහි තිබූ කෑම පාර්සල් දෙකක්ද පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. වෙඩි ප‍්‍රහාරයට ලක් වූ සමරසේකර මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබේ.

27 දා දහවල් වෙඩි තැබීම සිදු වූ ස්ථානයට පැමිණි පිලැස්ස මහේස්ත‍්‍රාත් ආර්. එම්. එස්. රාජපක්ෂ මහතා සිද්ධිය පිළිබද මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට නියම කළේය.