ඉතිහාසයේ පළමු වතාවට
මරණ දඬුවමට නියමවූ අයෙකුට බී ඒ උපාධිය

 බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී බාහිර උපාධිය ලබාගන්නට මරණීය දණ්ඩනය ලත් පුද්ගලයකු අද සමත්වේ.
එසේ උපාධිය ලබාගන්නේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන
බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහයි.
සුප්‍රකට පාවහන් ආනයන ව්‍යාපාරික ෂියාම් කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කිරීමේ සැලැස්මට සම්බන්ධවූ පොලිස් කණ්ඩායමේ එක් අයෙකුවූ බමුණුසිංහ මෙම නඩුවට පැටලී සිටින කාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියේ පළමු වසර අවසන් කර තිබූ
අතර ඔහු සිරගතවූ පසුව එම උපාධියේ දෙවැනි හා තෙවැනි වසර දේශන සිරකුටිය තුළදී සම්පූර්ණ කර ඇත.
ඔහුට විශේෂ ඉල්ලීමක් මත ජයවර්ධනපුර සරසවියෙන් එම දේශන සඳහා අදාළ සීඩී පට ලබාදී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් ඔහුට රාත්‍රී කාලයේ සීඩී ධාවන යන්ත්‍ර ශ්‍රවණය කරමින් අධ්‍යයන කටයුතු කරන්නට අවසරය දී ඇත.
ඔහු එම වසර වල විභාග සියල්ල එකවර සමත් කර තිබේ.
 මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ මින් පෙර මෙවැනි දුර්ලභ සිද්ධියක් සිදුව නොමැති බවත්, මෙරට පැවැති ප්‍රසිද්ධ නඩුවකින් මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයකු සමස්ත ජීවිතයම කඩා නොගෙන ස්වෝත්සාහයෙන් මෙවැනි උපාධියක් සමත් වීම සෙසු සිරකරුවන්ටද වටිනා ආදර්ශයක් වන බවත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
එම උපාධි ප්‍රදානෝත්සවය අද (5දා) පෙ.ව. 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.