නැන්දාගේ නිවෙසේ සඟවා තිබූ ණය දෙන සමිතියකට අයත් රුපියල් හාරලක්ෂ හැටදහසක මුදලක් සොරා ගෙන එම මුදලින් කොටසක් හඬා වැලපෙන නැන්දා ගැන දුක සිතී නිවෙසේ ගේට්ටුව අසල දමා ඉතිරි කොටසින් විනෝද වූ පුතකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති
අතර සොරා ගත් මුදලින් ලබාගත් විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ගල්නෑව සේනපුර ඒ. එම්. ඉන්ද්‍රා කුමාරි ඒකනායක මහත්මිය විසින් ගල්නෑව පොලිසියට කළ පැමිණිල්ල භාර නොගැනීම නිසා ඇයට සිදුවූ අගතිය පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ
පොලිස් අධිකාරිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් අනතුරුව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට සිදු කළ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිලිකාරිය සර්වෝදය සමිතියක් මඟින් ගනුදෙනුකරුවන්ට ලබාදීම සඳහා ගෙනැවිත් නිවෙසේ සඟවා තිබූ රුපියල් 4,60,000ක මුදලක් සැකකාර පුත්‍රයා නැන්දාගේ නිවෙසින් සොරා ගෙන ඇත. මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී පැමිණිලිකාරියගේ සහෝදරයාගේ පුත්‍රයා හදිසියේ පොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසියට සැක සිතී ඔහු සේනපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබිණි. සැකකරු එම මුදල සොරකම් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරයක් ආරම්භ කර එයින් පාඩු ලබා තිබෙන බව පොලිසිය පැවසූ අතර බැංකු ණය කිහිපයකුත් ගෙවා ඉතිරි මුදලින් යතුරුපැදියක් මිලදී ගෙන තිබෙන බව පැවසුවේය. අත්අඩංගුවට ගත් 26 වැනි වියේ පසුවන සැකකරු කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(අනුරාධපුරය -මහේෂ් විජේසූරිය)