උදම්මිට සමරේ මරා ඇත්තේ
එකට කාබී සෙට් වුණ හොඳම මිතුරා චාමර


පසුගියදා වේයන්ගොඩ ඇල්ඔය පාලම අසලදී වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙඩි වැදී මියගිය පාතාල නායක උදම්මිට සමරේ ඒ ආකාරයට ඝාතනය කර තිබෙන්නේ ඔහු සමග ඉතා හිතවත්ව එකට කාබී විනෝදවෙමින් හවුලේ අපරාධ වලටද සම්බන්ධවූ ‘චාමර‘ නමැති මිතුරෙකු බව මේ වනවිට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
චාමර හිටපු හමුදා සෙබළෙකි. මෙම පාතාල කල්ලි සාමාජිකයා මීට පෙර
වත්තල දී සිගරැට් වෑන් රථයක් පැහැරගෙන ගොස් කෝටි හතරක මංකොල්ලයටද සම්බන්ධවී ඇත. මෙම ඝාතනයට පෙර සමරේ හා චාමර අතර මුදල් ආරවුලක් පැවති බවත් වාර්තාවේ.
 ආරවුලින් පසු මිතුදම් බිඳීගිය අතර චාමරට සමරේ විසින් ටික දිනකට ඉහත තර්ජනය කර ඇති බවත් හෙළි වී ඇත.

දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට ටී56 ගිනි අවියක් යොදාගෙන තිබේ.

සිද්ධිය වාර්තාවූ පාලම අසල ඇල්ඔයේ විමර්ශන කටයුතු පෙරේදා (27) සහ ඊයේ (28) සිදු කෙරුණේ කොළඹ ‍පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ඇතිවය. ‍පොලිස් නාවික කිමිදුම් කණ්ඩායමක් ඇල්ඔයේ කිමිදී සිද්ධියට අදාළ කිසියම් තොරතුරක් ඇත්දැයි සොයා බැලූ අතරජංගම දුරකථනයක් සොයාගැනීමට හැකි වී ඇත.

මෙම ජංගම දුරකථනය මෙම අපරාධයට සම්බන්ධ එකක්
දැයි ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් සුනඛ අංශය මගින්ද අපරාධ ස්ථානයේ
පරීක්ෂණ පැවැත්වූ අතර ‍පොලිසිය පවසන්නේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් කණ්ඩායම්
කිහිපයක් මගින් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකරන බවයි.
ඝාතනය සිදුවන ආකාරය අසල පිහිටි වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බවත් 'උදම්මිට සමරේ' වෙඩි වැදී ත්‍රිරෝද රථයකට නංවාගෙන යන අයුරු සහ වෙඩි වැදුණු ඔහුගේ අනෙකුත් මිතුරා අසාධ්‍ය තත්ත්වයෙන් බිම නිදා ගන්නා අයුරුද සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.


(PixBy-Indika Abeysundara -Rivira)