ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව අයුතු යෝජනාවට අකමැතිවූ පසු
කම්මුල් පහර ගැසූ මගියා අත්අඩංගුවට

පසුගිය මාසයේ 12 වන දින කටාර් සිට කටුනායක දක්වා පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට අයුතු යෝජනාවක් කිරීමේ හුටපටයකට සම්බන්ධවූ ශ්‍රී ලාංකික මගියෙකු පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මෙම මගියා කටාර් රාජ්‍යයේ සේවය කරන්නෙකු වන අතර ඔහු පසුගියදා ලංකාවේ නිවාඩුවකට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී හඳුනාගත් සුන්දර ගුවන් සේවිකාව සමග
කුළුපගවී කතාබස් කර තිබේ. ගුවන් යානයේ ඉකොනොමි ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන පැමිණි බව කියන මෙම මගියා  මගීන් සඳහා ගුවන් සේවිකාවන් පිළිගන්වන කෑම බීම එසේ පිළිගන්වන අවස්ථාවේ මෙම මිතුදම අරඹා තිබේ. පසුව ගුවන් යානයේ ඔබ මොබ ගමන් කරමින් වැසිකිළියට යන අටියෙන් ඒ අසළ රැඳී සිටිමින් පෙර කී ගුවන් සේවිකාව සමග නැවත නැවතත් පිළිසඳරේ යෙදෙන්නටද එම මගියා කටයුතු කර තිබේ.සාමාන්‍යයෙන් ඉකොනොමි පන්තියේ මගියෙකුට ලැබෙන සීමිත වයින් බීම ප්‍රමාණය ඉක්මවා වැඩිපුර වයින් ගෙන්වාගෙන බොන්නටද ඒ අනුව මගියා කටයුතු කර ඇත.

ඉන් අනතුරුව

තරමක මත්වූ ගතියක් පෙන්නුම් කළ මගියා යානයේදී කෙටි නින්දකට පත්ව තිබෙන අතර ටික වේලාවකට පසු නැවත අවදිවී ගුවන් සේවිකා මිතුරිය සොයාගෙන ඇය ඇතුළු අනෙක් සේවකයින් රැඳී සිටි ස්ථානය අසළට ගොස් තිබේ.

එම අවස්ථාවේ ගුවන් සේවිකාව ඔහුව දැක සිනාසී ඔහු අසළට පැමිණ යළි කථාබස් අරඹා තිබෙන අතර මගියා ඇයට පවසා ඇත්තේ ‘මට ඔයාට හාදුවක් දෙන්න ආසයි..අපි මේ වොෂ් රූම් එක ඇතුළට යමුද“ කියාය.

මගියාගේ අයුතු යෝජනාවට ඇස් රතු කරගත් ගුවන් සේවිකාව ඔහුට බැණවැදී තිබේ. එම අවස්ථාවේ ඇය සමග වාදයකට පැටළුණ මගියා ඇගේ අතින් ඇදගෙන යන්නට උත්සාහ කර ඇති අතර ඇය අතගසා දමා පැත්තකට යන්න හදද්දී ඔහු ඇගේ කම්මුලට පහරක් ගසා ඇත. මේ අවස්ථාවේ යානයේ පැමිණි අනෙක් සේවක සේවිකාවන් මැදිහත්වී ආරවුල බේරා තිබෙන අතර මගියාව ඇදගෙන ගොස් ඔහු සිටි අසුනේ ඉන්දවන්නට සිදුව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2010 වර්ෂයේ සිට සේවය කර ඇති මෙම ගුවන් සේවිකාවට 2016.11.12 වැනි දින කටාර් සිට පැමිණි යානයේදී සිදුවූ අතවරය ගැන ඇය යානය කටුනායකට පැමිණි පසුව පොලිසියට පැමිණිලි කළ අතර මගියාව වහාම අත්අඩංගුවට ගන්නට මීගමුව පොලිස් නිලධාරීන් ක්‍රියාකළා.

ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට කම්මුල් පහරක් එල්ල කිරීමේ වරදට රිමාන්ඩ් භාරයේ පසුවූ ගුවන් මගියා අනතුරුව රුපියල් 5000 ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ 2017 ජනවාරි 13 වැනි දින පැමිණිල්ල යළි ගොනු කරන ලෙස දන්වමිනි.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ පමුණුගම ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. පිලිප් ජයමාන්න නමැත්තෙකි.