ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල පසුගියදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ කතාව විවේචනය කළේ මෙසේය.

‘එතුමිය බන්ධනාගාර රෝහලට විවිධ දේශපාලකයින් ඇතුළු වුණේ දූෂිත වෛද්‍යවරුන්ගේ සහයෙන් කියා ප්‍රකාශ කරනවා. වෛද්‍යවරුන්ගේ නිගමන හරි ද වැරදි ද කියා තීරණය කරන්න එතුමිය කවුද? වෛද්‍යවරුන්ගේ නිගමන
නිවැරදි ද කියා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඊට වඩා විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුට පමණයි.
දැන් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිටීම මන්ත්‍රිතුමිය විවේචනය කළා. මම ඔහුව බලන්න ගියා. ඔහුගේ මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුණු බව කවුරුත් දන්නා කාරණයක්. අපිට ඕක වුණා නම් දැන් මැරිලා. වහාම සිංගප්පූරු
ගෙනියන්න පුළුවන් වුණු නිසා ජීවිතය රැකුණා. නමුත් මොලයට විෂබීජ යෑමේ අවදානමක් තිබෙන නිසා දූවිලි විෂබීජ තිබෙන පරිසරයක තබන්න එපා කියලා වෛද්‍ය උපදෙස් තිබෙනවා. ඒ වගේම Sleeping apnia නමැති නින්දේ දී හුස්ම හිරවීමේ රෝගයක් දුමින්දට තිබෙනවා. නින්දේ දී මරණය වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා නිදා ගැනීමේ දී හුස්ම ගැනීමේ යන්ත්‍රයක් සවි කරන්න ඕනෑ. ඒ නිසා ඔහු බන්ධනාගාර රෝහලේදි සිටිය යුත්තේ සිර කුටියේද සිටිය යුත්තේ කියන එක තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතරයි. රටේ ජනාධිපතිටවත් ඒ තීන්දුව අභියෝගයටය ලක් කරන්න බෑ. එය අශියෝගයට ලක් කළ හැක්කේ ඊටත් වඩා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට විතරයි.
භාරත මරපු අයට අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා කියලා මන්ත්‍රිතුමිය කියනවා. යුක්තිය ඉටු වෙන්න ඕනෑ ආණ්ඩුවට සහය දක්වන අයට විතර ද? දුමින්දට යුක්තිය ඉටු කරන්නේ නැද්ද? දුමින්දට මාරාන්තික තුවාල සිදු කළ අයට නඩු පවරන්නේ නැද්ද? ආණ්ඩුව යුක්තිය ලබාදෙන්නේ ආණ්ඩු පාර්ශවයේ අයට විතරද කියන ගැටළුව දැන් තියෙනව. මේ ගැටුම සිදුවී වසර පහකට ආසන්න කාලයක් ගත වුණත් තවමත් දුමින්ද සිල්වා මහතාට තුවාල කල අයට කිසිම පියවරක් ගෙන නැහැ. මේ ආණ්ඩුවේ යහ පාලනය කෙතරම් නැමී තිබෙනවාද කියන එක කාටත් ඉන් පැහැදිලියි.‘