දුමින්ද සිල්වාගේ බන්ධනාගාරෙ රෝග විනිශ්චය තනිකර බොරුවක්
බොරු රිපෝට් දෙන්නෙ ලක්ෂ්මන් සහ මලින්ද වෛද්‍යවරු

මේවා ඇහුවම කොමසාරිස් අඬනවා
- බන්ධනාගාර ප්‍රභූ සත්කාර ගැන හිරුණිකාගේ හෙළිදරව්ව


අද පාර්ලිමේන්තුවේ අධිකරණ අමාත්‍යංශ වැය ශිර්ෂය සම්බන්ධ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනඥයින් සිරගතවීමේදී බන්ධනාගාරවලදී විශේෂ සැලකිලි හා ව්‍යාජ වෛද්‍යවාර්තා ලබාදීම සම්බන්ධයෙන් කතාවක් කළා.
ඇගේ කතාව අතරතුර දැනට මරණ දඩුවම් ලැබ සිරගතව සිටින දුමින්ද සිල්වාගේ තත්වය ගැනද විස්තර ඉදිරිපත්වූ අතර ඇගේ කතාවට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා එම අවස්ථාවේ දැඩි සේ බාධා කළා. වැරදි වාර්තා ලබාදෙන බවට සැකකරන
වෛද්‍යවරුන්ගේ නම්ද අනාවරණය කරමින් හිරුණිකා සිදු කළ කතාව පහතින්

‘කාගෙවත් නම් කියන්නෙ නෑ ඒ නිසා ඇවිස්සෙන්න ඕන නෑ. සිරගත කළ දේශපාලනඥයින් සුවසේ ඇඳන් උඩ.සීමාරහිත අමුත්තන්.සීමාරහිත කෑම බීම.මෙය සිදු කරන්නෙ බන්ධනාගාර කොමසාරිස්ගෙ අනුදැනුම මත. බන්ධනාගාර කොමසාරිස්ව හමුවෙන්න මං මේ ළඟදි ගියා.මම කිව්වා ඔබතුමා දන්නවද මේ හිරගේ ඇතුලේ අර දෙමඩගොඩ චමින්දලා එස්ටීඑෆ් සරත්ලා ෆෝන් පාවිච්චි කර කර ෆේස්බුක් යනවා මේක ගැන දැනුවත්ද කියලා. ඒක කිව්වම පස්සෙ මෙන්න මේ මනුස්සයා අඬන්න ගත්තා.

යුනිෆෝම් ඇඳගත්ත මිනිහෙක් මං ඉස්සරහ අඬන්න ගත්තයින් පස්සෙ මට තවදුරටත් කතාකරන්න පුළුවන්ද මං එන්න ආවා.

අද වෙනකොට නව මැගසින් බන්ධනාගාරය ඇතුලෙ කාමරේක ඇඳක් තියනවා. ඇටෑච් කරපු ටොයිලට් එකක් තියනවා. මදුරු දැල් තියනවා. පුටු තියනවා. ටීවී එකක් තියනවා. ෆෑන් එකක් තියනවා. අපේ මේ දේශපාලනඥයො සිරගෙට යනකොට මේ කාමරේ තමයි නවත්වන්නෙ. දැන් මං මේක කිව්වම අද දවස ඇතුළත ඒක තියේවි හෙට වෙනකොට අයින් කරාවි.

එක මන්ත්‍රීතුමෙක් ළඟදි සිරගතවුණා. දැන් මේ මන්ත්‍රීතුමා ගිහිල්ල ඉවරවෙලා ඉල්ලල තියනව මෙට්ටෙකුයි කොට්ටෙකුයි මදුරු දැලකුයි.හේතුව මොකක්ද මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. එක්කො වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිබ්බාම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. එයාගෙ යාළුවත් ළඟදි සිරගතවුණා.ඒ මනුස්සයා නම් ඇත්තටම අවංක හේතුවක් බෙල්ලෙ අමාරුවක් කියල මෙට්ටයක් ඉල්ලල තිබුණ ඒක කමක් නෑ.

මේ ළඟදි තව මන්ත්‍රී කෙනෙක් ඇතුළට ගියා. මේ මන්ත්‍රී තුමාට හෘදයාබාධයක්. හෘදයාබාධය හැදෙන්න කළින් ඊසීජී එපැයි දැන් මේ මනුස්සයට ඔප්පු කරගන්න බැරිව ඉන්නවා. මේ මැෂින් වලට බොරු කරන්න බෑනෙ. අනික් එක තමයි ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම් කාරයෙක් මිනිහගෙ නමු අමාන් ෂේක් පකිස්තාන ජාතිකයෙක්. අමාන් ෂේක්ට තියන ලෙඩේ තමයි උසට සරිලන බරක් නෑ. ඔහු ඉන්දියාවෙන් ගෙන්නගෙන තියනව වෛද්‍ය වාර්තා.ඒව පුළුවන්ද එහෙම ගේන්න. මං ඒවා සභාගත කරනවා.මේ ප්‍රිස්න් එකේ ඔය වගේම බීඑම්අයි එක නැති මිනිස්සු තවත් ඇතිනෙ.ඔය මිනිස්සුත් ඔය විදිහටම ඇඳන්වල දාල තියනවද?.

අධිරුධිර පීඩනය හැදිච්ච මනුස්සයෙක් ඉන්නව.ඒ මනුස්සය ඇඳක ඉන්න ඕන.තව කෙනෙක් ඉන්නව ලේ යනව ගුද මාර්ගයෙන් එහෙම අයට එක දවසක් බෙහෙත් කරල ආයෙ සිරකූඩුවට යවනව.මේ අහිංසක මිනිස්සු බලවන්තයො නොවේ.මේ අයට එහෙම වෙන්නෙ සල්ලි වියදම් කරන්න පුළුවන් මිනිස්සු නොවන නිසා.

මෙක නම් කියන කොට සමහරුන්ට රිදෙයි.පහුගිය දිනවල මරණ දඩුවම හම්බවෙච්ච දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැනත් කිව්වෙ නැත්නම් වැඩක් නෑ. සිරකරු අංක 419189 ට අද වෙනකොට රෝග විනිශ්චය කරල තියන එක තනිකර බොරුවක්. ඔහුට ප්‍රකාශ කරල තියන ලෙඩේ තමයි දීර්ඝ කාලික හිසරදය, කරකැවිල්ල, සිහිය නැතිකම, මතකය අඩුකම ඉතින් ඔන්න මේව තමයි ලෙඩ ටික. මේ දෙසැම්බර් 3 වනදා එතුමාගෙ උපන්දිනේ තිබ්බා. පවුලෙම උදවිය උපන්දිනේ සමරල පොඩි ජොලියක් දාල ආවා.....

(බාධා - ලොහාන් රත්වත්තේ -දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉල්ලල
නඩුවක් දාල තියනව.ඒ නිසා එතුමා ගැන මේ සභාව තුළ කතාකරන්න බෑ)

එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.තාම ඒකට දින හම්බවෙලා නෑ..

(ලොහාන් - බෑ බෑ බෑ එහෙම කරන්න බෑ ඔහු ගැන කිසිවක් කතාකරන්න බෑ..)
මං නඩුව ගැන නෙමේ කතාකරන්නෙ ඔහු සිරකරුවෙක්. මට ඔහුගේ තත්වය ගැන කියන එක අද දවසට අදාළයි.

(දිගින්දිගටම ලොහාන්ගෙන් බාධා - සභාවේ මුලසුනින් - මන්ත්‍රී තුමිය කතාකරන්න යයි අවසර ලැබේ)
ඔබතුමාගෙ ආණ්ඩුවම ඔය විදිහට වැටෙන්න එක පුද්ගලයෙක් තමා එතුමා.ඒ හින්දා කටවහගෙන ඉන්න.
ඔබතුමාල වැටිල ඉන්නෙ ඔය වගේ මිනිස්සු ළඟ තියාගෙන හිටපු හින්දා.
(ලොහාන් නිහඬ වෙයි)

මේ ළඟදි දවසක මේ පුද්ගලයා බලන්න යනව දිසා විනිසුරුවරියක්. අයේෂා සාබ්දින්.මේ සිද්ධිය එළියට ආවට පස්සෙ පඩි සහිත නිවාඩු මෙතුමියට දීල යවල තියනවා.

මට මේ දුමින්ද සිල්ව එක්ක...එයා මගෙ තාත්ත මැරුව එයා දැන් ඇතුලෙ ඉන්නෙ..ඒක දැන් ඉවරයි. ආයෙ එලියට ඇවිල්ල මේ.. ආයෙ එන්නෙ නඩුවක් දින්නොත්නෙ. මට මේ පුද්ගලය එක්ක කිසි පෞද්ගලික තරහක් නෑ. කාලයක් තිබ්බ. වයසින් මුහුකුරා යනකොට මට දැන් දඩුවම ලැබුණට පස්සේ ඒ දේවල් ඉවරයි.හැබැයි බන්ධනාගාරය ඇතුළට ගිහිල්ල ඒ පුද්ගලයා හෝ හැම පුද්ගලයම සාමාන්‍ය සිරකරුවෙක් වගේ නම් ඉන්නෙ මං අද බන්ධනාගාර කොමසාරිස් තුමාට කියනවා.
 වැලිකඩ බන්ධනාගාර ඉස්සරහ ගහල තියනව සියලු සිරකරුවො මනුෂ්‍යයෝය කියල. ඒක මකල සියලු සල්ලි තියන සිරකරුවො මනුෂ්‍යයෝය කියල ගහන්න.අවසානයෙ කියන්න තියෙන්නෙ ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා.
ජනාධිපතිතුමා කිව්ව අද මේකෙදි වැඩිපුරත් වෙලාව ඉල්ලගෙන සභාවට ඇහෙන්න කෑගහල කියන්න කියල.
අගමැතිතුමාට මේක කිව්වා. අගමැතිතුමා මට කියනවා මං පැත්තක් අරගත්තෙ නැති හින්දා හිරු එකින් මට හෝ ගාලා ගහනව කියල. හිරු එකෙන් හෝ ගාලා අගමැතිතුමාට ගහනවලු.. මට අගමැතිතුමා කියනව ‘මං කොහොමද මිනීමරුවන්ගෙ පැත්ත ගන්නෙ‘ කියලා.

සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා.එතුමා කියනවා මේ සියලු විස්තර එතුමට දෙන්න කියලා. මේ ජීඑම්ඕ එක එක්කහු වෙලා ඉන්න සමහරක් වෛද්‍යවරුම තමා මේ දේවල් කරන්නෙ.මේ හැම කාරණාවක්ම කෙරෙන්නෙ අපට උඩින් තමයි ඕඩර්ස් එන්නෙ කියල. මේ කවුරුත් දන් නැත්නම් මේ සිද්ධි ගැන ජනාධිපතිතුමාට,අගමැතිතුමාට,සෞඛ්‍ය ඇමතිතුමාට,බන්ධනාගාර කොමාසාරිස්තුමාට උඩින් ලොක්කෙක් ඉන්නවද? ඒ කියන්නෙ මේක මාර වැඩක්නෙ.

බන්ධනාගාර ඇමතිතුමනි ඔබතුමා මේක ගැන සොයා බලයි කියල මං විශ්වාස කරනවා. මේ ලක්ෂ්මන් ජයමාන්න කියන වෛද්‍යවරයායි මලින්ද වනිගසිංහ කියන වෛද්‍යවරයයි කියන වෛද්‍යවරුන්ගෙ සේවය පරීක්ෂණයක් කරල තාවකාලිකව අත්හිටුවන්න.බුරුතු පිටින් වෛද්‍යවරු ජේලර්වරු ඒවි මේ හැම දේටම සාක්ෂි දෙන්න.‘