පසුගිය 7 වනදා රත්මලාන කොතලාවල ප්‍රදේශයේ කාමරයක තිබී ගෙල කපා ඝාතනය කරන ලද පුද්ගලයා සම්බන්ධ සුල මුල සොයාගන්නට ගල්කිස්ස පොලිසිය සමත්ව තිබේ.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ අතුකෝරාල කොඩිතුවක්කුගේ දර්ශන දිල්ෂාන් කුමාර (36) නමැති එක් දරු පියෙකු බවත් ඔහු
ඇඹිලිපිටිය පෑලංගල පදිංචිකරුවකුව සිටියදී රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රියැදුරකු ලෙස සේවය කරමින් සිටි බවත් අනාවරණය විය.
සිද්ධිය වූ දවසේ ඔහු නවාතැන්ගෙන සිටි කුලී කාමරයේ තිබී

ගෙල කපා දමන ලද ඔහුගේ මළ සිරුර අසල්වාසීන්ට හමුවී පොලිසියට දැන්වීමෙන් පසු පරීක්ෂණ ඇරඹිණි.
මිය ගිය තැනැත්තා දැනට මාසයක පමණ කාලයක සිට අනියම් කාන්තාවක් සමඟ මෙහි වාසය කර ඇත.

නමුත් මළ සිරුර හමුවන විට ඇය සිට නැත.
සිද්ධියවූ දවසේ දහවල් මොහු බියර් බෝතලයක් රැගෙනවිත් පානය කර ඇති අතර  මළ සිරුර අසළින් හමුවූ එම බියර් වීදුරුවේ නින්ද යාමේ ඖෂධ තිබී ඇත. ඒ අනුව එම අවස්ථාවේ අනියම් බිරිය විසින් ඔහුට නින්ද යෑම සඳහා ද්‍රව්‍යයක් එයට දමා ඔහුට නින්ද ගිය පසු ගෙල කපා පැන ගොස් ඇතැයි සැක කෙරේ.


පොලිසිය විසින් නිවෙස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන දෙකක් හමු වීමෙන් අනතුරුව එම දුරකතන අංකවලට ඇමැතුම් ලබා දී අනියම් බිරියගේ අංකය සොයාගන්නට හැකිව ඇත. ඇයට පොලිසියට එන්නට දැනුම්දී ඇත.
මිය ගිය පුද්ලයා මිනී මැරුම් නඩුවක සැකකරුවකු වන අතර මීට පෙර අනියම් බිරියගේ සැමියාට මන්නයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවද පරීක්ෂණවලදී හෙළි වී තිබිණි.