මෙම වසරේ පෙබරවාරි 04 වැනිදා පවත්වනු ලැබූ ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ද ගායනා කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික
අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (18) ප්‍රියසාද් ඩෙප්,

කේ.ටී. කිත්සිරි සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
පෙත්සම්කරුවන් ප්‍රකාශ කර තිබුණේ ජාතික ගීය සිංහල බසින් පමණක් ගැයීමට අවසර ලබාදී ඇති බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවේ සිංහල පිටපත අනුව ජාතික ගීය සිංහල භාෂාවෙන් ද, දෙමළ පිටපතේ එය දෙමළ බසින් ද සැකසී ඇති බවයි.
මැදිහත්කරුවන් වූ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ විරාන් කොරයා මහතා පෙත්සම තවදුරටත් පවත්වා ගැනීම අනවශ්‍ය බවට කරුණු ඉදිරිපත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව සිංහල සහ දෙමළ භාෂාවලට සම තැන තහවුරු කර ඇති බව එහිදී ඉදිරිපත් වූ තර්කය විය.