විදුලි ඉන්ජිනේරුවරයකු, වෛද්‍යවරයකු හා ගුවන් නියමුවකු ලෙස පෙනී සිටිමින් පුවත්පත්වල පළවන මංගල දැන්වීම් මඟින් කාන්තාවන් හඳුනාගෙන විවාහ කර ගන්නා බවට පොරොන්දු වී කාන්තාවන් රවටමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයකු බදුල්ල පොලිසිය විසින් ඊයේ (9දා) හාලිඇළ කන්දේගෙදර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.


කුලී වැඩ කරමින් ජීවත් වන 36 හැවිරිදි අවිවාහක මෙම සැකකරු හාලිඇළ කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය කියයි.

සැකකරු පුවත්පත්වල පළවූ මංගල දැන්වීමක් මාර්ගයෙන් කොළඹ නගරයේ රජයේ උසස් තනතුරක් දරන 38 වියැති කාන්තාවක් දැන හඳුනාගෙන සිය නැඟණියට අසනීපයි බස් රථයට වාරික මුදල් ගෙවීමට ඇතැයි යනාදිය කියමින් කාන්තාවට බොරු කියමින් වංචනික ලෙස ඇගෙන් රුපියල් 98,000ක මුදලක් ලබාගෙන ඇති බවද පොලිසිය පැවැසීය.

මීට අමතරව අම්බලන්ගොඩ, අලුත්ගම, ගම්පහ ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් මෙලෙස රවටමින් වංචනිකව මුදල් ලබා ගෙන ඇති බවට හෙළි වී ඇතැයිද පොලිසිය කියයි.

බදුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බදුල්ල - ටී. බී. රත්නායක