පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ලාගම මාපේගමුව හටන්ගම ප්‍රදේශයේ දුටුගැමුණු රජ සමයට අයත් නිධානයක් හාරමින් සිටි පොලිස් නිලධාරියකු සමඟ 11 දෙනකු පොල්පිතිගම පොලිසිය සහ නිකවැරැටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (13දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වත්මන් ආරක්ෂක නිලධාරියකු බවට හඳුනාගෙන ඇතැයි වාර්තාවේ.
නිදන් හෑරීමේ කටයුත්තේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මේ පොලිස් නිලධාරියා කුරුණෑගල පොලිසියට අනුයුක්තව සිටින්නෙකි.

ළිඳක් බඳින මුවාවෙන් නිදන් හෑරීම සඳහා භාවිත කළ යන්ත්‍රසූත්‍ර, ජෙනරේටරයක්, බට, වයර්, ශාන්ති කර්ම සඳහා භාවිත කරන පූජා භාණ්ඩ හා උපකරණ, යතුරුපැදි දෙකක්, ත්‍රීවීල් රථයක්, සේලයින් බෝතල් සහ බෙහෙත් වර්ග රාශියක්ද පාතාල අඳුන නමැති උපකරණයක් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
දුටුගැමුණු රජ සමයට අයත් හටන්ගම ලෙස හඳුන්වන මෙම ස්ථානයේ පුරාණයේ සිටම වටිනා මැණික් කුට්ටි නිදන් ගත කොට ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන බවත් ඒ සඳහා වන පෞරාණික සාධක රාශියක් ප්‍රදේශයේ පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්ථානය මීට පෙර 2003 වර්ෂයේදී මෙලෙසම පිරිසක් කැණීම් කරද්දී අත්අඩංගුවට ගෙන ඇති බවද පොල්පිතිගම පොලිසිය සඳහන් කරයි.
 සැකකරුවන් මහව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපහුව - බණ්ඩාර හේරත්, මීගලෑව-නිමල් බණ්ඩාර