කැමිලස්ගේ උත්සවයේදී 
බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ

සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ.
ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,
ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා.
මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා.



මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි.

සංඝරත්නය, කැමිලස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි.
එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත.
ප්‍රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය.
මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි.
දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ.

කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.