ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ 16දා ආරම්භ වූ බ්‍රික්ස් බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම පිණිස ගෝවා නගරයට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, මියන්මාර අගමැතිනි අවුන් සාන් සුකී ඇතුළු
කලාපයීය රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කෙළේය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ගෝවා නගරයේ ටාජ් එක්සෝටිකා හෝටලයේදී 16 පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉන්දියාවට මෙන්ම බිම්ස්ටෙක් කලාපයටද විශාල ශක්තියක් බව ඉන්දීය අගමැතිවරයා මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

-----------
යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී. සහනය නැවත ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර බලා 16දා සවස පිටත්ව ගියේය.
බෙල්ජියම් අගමැති චාල්ස් මිෂෙල් සහ ලොව්රාන් කුමරු ප්‍රධාන බෙල්ජියම් ඉහළ පෙළේ නායකයන් සමඟ සාකච්ඡා පවත්වන අගමැතිවරයා, යුරෝපීය සංගමයේ සහ යුරෝපීය කවුන්සලයේ සභාපතිවරුන් හා ප්‍රධාන නිලධාරීන් සමඟ ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීම සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, අගමැති ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු අගමැතිවරයා සමඟ බ්‍රසල්ස් ගිය පිරිසට අයත් වෙති.