කරාඹු නැතිව පාසල් යන්න බැහැයි
පොලිසියේදී කී නාඳුනන දැරියට

කැමැත්තෙන් තම කරාඹු ගලවා දුන් කාන්තාව


කණට කරාඹු දෙකක් නැතිව පාසල් යාමෙන් පසු පාසලේ මිතුරියන් විහිළු කළ නිසා කළ කිරීමට පත්ව වසර 2 ක් තිස්සේ පාසල් යෑමට බෑ කියා ගෙදර නැවතුණ දැරියක් ගැන අනුකම්පා සිතුණ පිටස්තර කාරුණික කාන්තාවක සිය කණ රැඳි කරාඹු ගලවාදී ඇයව නැවත පාසල් යැවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තාවෙනවා.
කරන්දෙණිය මහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මේ දැරිය මව් සෙනෙහස අහිමිව පියා සමග ජීවත්වූ අයෙකි.
කාලයක් තිස්සේ පාසල් යාම නතර කර දැරිය පාසල් යන්නට බැහැ යයි දිගටම පැවසීම නිසා
මෙම දැරියගේ පියා විසින් ඇයව කරන්දෙණිය පොලිසියට


රැගෙනවිත් තිබුනේ මේ අවනඩුව විසඳා ගන්නටයි. පරිවාස භාරයට පත්කර හෝ දැරියට අධ්‍යාපනය සලසා දෙන්නැයි පියා ඉල්ලා තිබුනි.පොලිස් ප‍්‍රශ්න කිරිම්වලදී මේ දැරිය කියා තිබෙන්නේ කරාබු යුගලක් නොමැති නිසා කිසිසේත්ම පාසල් යා නොහැකි බවයි. තමාට පැළදීමට කරාබු යුවලක් නොමැති වීම නිසා මින් ඉහත පාසල් ගිය අවස්ථාවේ ලැජ්ජාවට පත්වූ බැවින් නැවත පාසල් යා නොහැකි බව ඇය දන්වා තිබුණා. දැරියගේ මේ ප‍්‍රකාශය ඇසී සිත් කම්පා කරගත් එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි කාන්තාවක් තම කරාබු යුගලය දැරියට ලබාදීමට ඉදිරිපත් වුණා.පොලිස් නිලධාරීන් ඒ ගැන සතුටට පත්වූ අතර දැරිය ඉන්පසු කියුවේ තමා පාසල් යන බවයි.
ඒ අනුව ඊයේ පාසල් යන්නට පෙර පොලිසියට පැමිණ එම නිලධාරීන්ට බුලත් දී වැඳ තමන්ට උපකාර කළ කාන්තාවටද වැඳ අවසර ගෙන ඇය නැවත මින් පෙර අධ්‍යාපනය හදාළ පාසලේ 9 වන ශ්‍රේනියට ඇතුළත් වුණා. ඇයට පොලිසියෙන් පොත් කට්ටලයක තෑග්ගක්ද ලබාදී තිබුණා.
ඇය නැවත පාසල් යාමේ ආරංචිය නිසා වඩාත් සතුට අත් විඳගත්තේ කරාඹු යුවළ පරිත්‍යාග කළ කරන්දෙණියේ 3 කනුවේ පදිංචි ශ්‍යාමලී තිලකරන්ත නමැති තිදරු මවයි.