මොණරාගලින් පළමුවෙනියාවූ හරින්ද
පුද්ගලික ප‍්‍රශ්නේ නිසා 
විභාගේ පාස් කරන්න බැහැයි කියා
සටහන් තබා සමුගත් හැටි


ඊයේ උදෑසන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ නේවාසිකාගාර කාමරයක් තුළදී හමුවූ මියගිය වෛද්‍ය සිසුවා සම්බන්ධ සිද්ධියට අදාළ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
හරින්ද සෙනෙවිරත්න නමැති මියගිය වෛද්‍ය සිසුවා මොණරාගල රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට ඒ සාමාර්ථ තුනක් සහිතව එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයාවී සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට
ඇතුළත්ව ඇත්තේ 2009 වසරේය.
එතැන් සිට කොළඹ වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ රැඳී සිටිමින් මාස කිහිපයකට වරක් පමණක් බිබිලේ පිහිටි නිවසට යමින් ඔහු සැහැල්ලූවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත.
ඔහු මුල් කාලයේ වෛද්‍ය අධ්‍යාපනය සාර්ථකව කරගෙන ගිය නමුත් අවසාන කාලයේ කිසියම් පුද්ගලික ප‍්‍රශ්න කිහිපයකට මැදිවීම නිසා වැඩ කටයුතු අවුල් කරගෙන තිබෙන බව වාර්තාවේ. වෛද්‍ය විද්‍යාලයේ ඔහුට සමකාලීන කණ්ඩායම අවසන් විභාගය සමත්ව ඉදිරි කටුයුතු සඳහා ගියත් ඔහුට එය එක්වරම සමත් කරගන්නට බැරි විය. දෙවන වතාවට ඊළඟ කන්ඩායම සමග විභාගයට පෙනී සිටියත් එයද බැරි විය.

ඔහු පසුගිය කාලයේ උත්සාහ කර ඇත්තේ තෙවන කණ්ඩායම සමග අවසාන විභාගයට මුහුණ දෙන්නටය.


ඔහු නේවාසිකාගාරයේ 96 වන කාමරයේ තනිව වාසය කළ අතර අනෙක් බොහෝ කාමරවල දෙදෙනා බැගින් සිටියත් ඔහු ජ්‍යෙෂ්ඨ සිසුවෙකු නිසා ඔහුට තනිව සිටින්නට නේවාසිකාගාර පාලකගේ අවසරය හිමිව තිබුණි. තනිව සිටි හරින්ද සිය පුද්ගලික ප‍්‍රශ්න කිසිවෙකු සමග බෙදා හදාගෙන තිබුනේ නැත. අවසන් දිනයේ ඔහු කාමරය වසාගෙන ඇතුළට ගියත් නැවත නාවේ ඇයිදැයි බලන්නට තරම් ඔහුට වඩා ළාබාල අනෙක් කන්ඩායමේ මිතුරන් සමග ඔහු ඇයිහොඳයිකම් පවත්වාද නැත.

ඊයේ උදෑසන එම කාමරයෙන් ආ අධික දුර්ගන්ධය නිසා සමීප කාමරවල අයට ඇතිවූ සැකය මත හරින්දට සිදුවුණ දේ බලා ඇත.
දින කිහිපයකට පෙර මියගොස් තිබුණ දේහය අසළ විස කුප්පියක් හා සේලයින් බෝතල කිහිපයක්ද තිබුණ අතර කාමරයේ ඔහු දිවිනසාගන්නට පෙර ලිපියක්ද ලියා තිබුනි.
තමාගේ කලකිරීම් ඇතිකරවූ පුද්ගලික ප‍්‍රශ්නය ගැන පිටු 10 කට ආසන්න ලිපියක් ලියූ ඔහු මේ ගැටලූ තිබෙන තුරු තමාට විභාග පාස් කරන්නට ඔලූව සකසා ගන්නට බැරිබව එහි අවධාරණය කර ඇත. තමා ලෝකයේ තනිවූ අයෙකු ලෙස එම ලිපියේ අදහස් දක්වා තිබෙන හරින්ද මගේ මිනිය අම්මටයි තාත්තටයි විතරක් පෙන්නුවාම ඇති. ඒක මුහුදට ගිහින් දාන්න යනුවෙන්ද සටහනක් තබා ඇත. මෙම ලිපිය ඉංග්‍රීසි බසින් හරින්ද ලියා තබා තිබුණ අතර එසේ කරන්නට ඇත්තේ තමාගේ ගැටලුවට අදාළ පාර්ශ්වයන්ට තේරුම් යන්නට විය හැකි යයි අනුමාන කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන හරින්දගේ මව මේ සිදුවූ දෙය තේරුම් ගන්නට බැරි බව දක්වා ඇත. හරින්දගේ සොයුරිය පවසා ඇත්තේ පළාතේම දක්ෂ මොළයක් වූ හරින්ද වැනි කෙනෙකු අහිමිවීම රටටම පාඩුවක් බවත් හොරු අරන් ගියා වැනි ඔහුගේ සමුගැනීම ගැන තමාට අදහාගන්නට බැරි බවත්ය.
ඊයේ සිදු කළ මරණ පරීක්ෂණය අනුව මෙය විෂ ශරීර ගතවීමෙන් සිදුවූ සියදිවිනසාගැනීමක් බවට තීන්දු විය.

සිද්ධිය සම්බන්ධ පෙර ලිපිය මෙතැනින්