ගේට්ටු මුරකරුවන් වර්ජනයේ
මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට



දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් අතරතුරදී එම ස්ථාන අනාරක්ෂිතව පැවතීම හේතුකොට ඊයේ අවාසනාවන්ත මරණ තුනක් වාර්තා වුණා.
වැල්ලව ගනේවත්ත බේරගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ඊයේ (03 වැනිදා) දහවල් 12.15 ට පමණ යතුරුපැදියක ගමන් ගත්
තරුණ මවක සහ සිඟිති දරු දෙදෙනා කොළඹ සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුර සිදුවන අවස්ථාවේ අමතර පන්තියකට සහභාගි වූ එක් දියණියක කැටුව අනෙක් දියණිය සමග මව නිවස බලා යමින් සිටි බව පැවසුණා.

මරුමුවට පත්වූ මව දීපානි දිල්රුක්ෂි 32 හැවිරිදි වියේ පසුවූ අතර දියණියන් දෙදෙනා  ඕවින්ද්‍යා නමැති 1 වසරේ ඉගෙන ගන්නා සය හැවිරිදි දැරියක සහ දැහැමි නමැති මාස 18 ක දැරියක වුණා.
දුම්රියේ හැපුණ යතුරු පැදිය මීටර 200 ක් පමණ දුරට විසිව ගිය බවද වාර්තාවී ඇත.
වැල්ලව ගනේවත්ත බේරගල ඈඳගල වංගුව ප‍්‍රදේශයේදී මෙම මාරක අනතුර සිදුවී තිබේ. දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු සිදුවූ තුන්වැනි මාරක අනතුර බවද පැවසිණි.
මෙම අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සේවයේ යෙදී සිටින්නකු වන අතර ඔහු නිවසට එන්නේ සති කීපයකට වතාවක් බව වාර්තා විය.