ගෝලයා ගුරාට එරෙහිව නඩු කියා දිනයි
උපුල් ශාන්ත හා දෙරණ 360
අපහාස නඩුවෙන් පරදී

ලක්ෂ 50 ක් ගෙවන්න වෙලා

දෙරණ නාළිකාවේ විකාශය වූ  ‘දෙරණ 360‘ වැඩසටහනට සහභාගී වෙමින් උපුල් ශාන්ත සන්නස්ගල ඔහුගේ පැරණි ටියුෂන් ගෝලයෙකු හා සිනමා විචාරක අජිත් ගලප්පත්තිගේ කීර්ති නාමයට හානි වන පරිදි අදහස් පළ කිරීම නිසා ඊට එරෙහිව අජිත් ගලප්පත්ති නඩුමගට එළැඹුණ අතර එම නඩුවෙන් දෙරණ සහ උපුල් ශාන්ත දෙදෙනාම පසුගියදා පරාජයට පත් විය. ඒ අනුව රු. ලක්ෂ 50 ක ගෙවන ලෙස දෙරණ නාළිකාවට
සහ උපුල් ශාන්ත සන්නස්ගලට අධිකරණය නියම කර තිබේ.

මෙම වැඩසටහන 2008 ජූලි 08 වන දා විකාශය කර තිබූ අතර 2008 ජූලි 13 වන දින නැවත විකාශය කර තිබේ.
සන්නස්ගල මහතා නිෂ්පාදනය කළ තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටිය පිළිබඳ විචාරයක් මාධ්‍ය වෙත යැවීම සඳහා අජිත් ගලප්පත්ති මුදල් ඉල්ලූ බව එම වැඩසටහනේදී සන්නස්ගල මහතා පවසා තිබේ.
එසේ කියන්නට හේතුවී ඇත්තේ අජිත්ගේ විචාරයක් වාසිසහගතව වෙනස්කර පත‍්‍රිකාවක සටහන් කිරීමක් ගැන 360 නිවේදිකාව කරුණු විමසීමේදීය.
උපුල් ශාන්ත සන්නස්ගල විසින් පැමිනිලිකාර අජිත් ගලප්පත්තිට අපහාසාත්මක ප‍්‍රකාශයක් සිදු කර ඇති බවත් ඒ තුළින් පැමිණිලිකරු සමාජයේ යම් ආකාරයක පහත් තත්වයකට පත් වුණු බවත් අධිකරණයට අනාවරණය වන බව මෙම නඩු තීන්දුවෙහි දක්වා ඇත.
විචාරයක් ලිවීමට පැමිනිලිකරු විසින් මුදල් ඉල්ලූ බව විත්තිකරු ප‍්‍රකාශ කළත් එය තහවුරු කිරීමට සමත් වී නැති බවත් එහි සත්‍යභාවයක් අධිකරණයට ඔප්පු නොවන බවත් අධිකරණයේදී පැවසුණ අතර එම අසත්‍ය ප‍්‍රකාශය නැවතත් විකාශය කරමින් සමාජගත කිරීම නිසා දෙරණ නාලිකාවද මෙම වරදට හසු විය.
කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. අනවරත්න මහතා දෙරණට හා සන්නස්ගලට ලක්ෂ 50 වන්දිය නියම කර තිබේ.
පාසල් සමයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනප්‍රිය උසස්පෙළ සිංහල උපකාරක පන්තියේ ගෝලයෙකු ලෙසද අජිත් ගලප්පත්ති සහභාගී වී තිබේ.