ජනපතිගේ තිරුපති වන්දනාව අතර
රියදුරු නැතිව රස්තියාදු වූවැයි
ඉන්දීය මාධ්‍ය වාර්තා



පසුගියදා ඉන්දියාවේ තිරුපති කෝවිලේ වන්දනාවක නිරතව සිටි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ රියදුරු අතුරුදහන් වී සිටීම නිසා ජනපතිවරයා මිනිත්තු 12ක් පමණ සිය මෝටර් රථයට වී බලා සිටින්නට සිදු වුණු සිද්ධියක් ගැන නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්
හා ඉන්දියා ටයිම් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඊයේ පාන්දර 3ට තිරුපති දේවස්ථානයේ විශේෂ පූජාවකට සහභාගි වුණු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන බිරිඳ සහ පුතා ඇතුළු පවුලේ පිරිස එම කටයුතු නිමකර නවාතැනට යාම පිණිස මෝටර් රථයට ගොඩවූ අවස්ථාවේ මෙම ඇබැද්දිය සිදුව තිබේ.
රියදුරා එහි නොසිටි බැවින් ජනපති ඇතුළු පිරිසට මිනිත්තු 12ක් පමණ රැඳී සිටින්නට සිදුව ඇත. රියදුරා පැමිණෙන තුරු ජනපතිට ආරක්ෂාව සැපයීමට දේවස්ථානයේ ආරක්ෂක
අංශයට සිදුව ඇති අතර පසුව කෝවිලේ ආරක්ෂක අංශ විසින් රියදුරා කෝවිල ඇතුළත සිටියදී සොයා ගෙන තිබේ.
තිරුපති දේවස්ථානයට අයත් සුඛෝපභෝගී නවාතැන්පළක ජනපතිවරයා ඇතුළු පිරිස නවාතැන්ගෙන සිටින බවත් ඊයේ උදෑසන 6.30ට තවත් විශේෂ පූජාවකට සහභාගි වීම පිණිස ජනපති ඇතුළු පිරිස දේවස්ථානයට ගිය බවත් වැඩිදුරටත් වාර්තා කර ඇත. කෙසේ වෙතත් ප‍්‍රභූ පුද්ගලයෙක් දේවස්ථානය ඇතුළත සිටියදී වෙනත් පුද්ගලයන්ට එහි ඇතුළු වීමට නොහැකි බව තිරුපති කෝවිලේ ආරක්ෂක අංශ දන්වා ඇත.
ඇතිවූ සිදුවීම ගැන ආන්ද‍්‍රා ප‍්‍රදේශ් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් පවත්වන බවද පුවත් වාර්තා සඳහන් කර ඇත.