ලූතිනන් කර්නල් බිරියගේ කුසට
වෙඩි තබා ඇත්තේ

දික්කසාද වන්දිය වැඩි නිසාලූ

පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ


මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය.
එහිදී ඔහු එවැන්නක් නොකළ බව කියා තිබුණ නමුත් ඔහුගේ රියදුරු හා සහායකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී
මෙම වෙඩි තැබීම අදාළ ලූතිනන් කර්නල්වරයා විසින්ම කර ඇති බවත් පසුව පිස්තෝලය ඔයකට විසිකර තිබුණ බවත් දැන් අනාවරණයවී තිබේ.
ඒ අනුව අතුරුගිරිය පොලිසිය සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝ්ලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප‍්‍රනාන්දු මහත්මිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටියි.
නයනා ප‍්‍රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර ඒ නිසා දික්කසාද නඩුවක් ගොනුකර එය ලබන සතියේ විභාගවීම ආරම්භ වන්නට නියමිතව තිබී ඇත. එම නඩුව සමග සැමියාගෙන් වෙන්වීම නිසා පවුලේ නඩත්තුව වෙනුවෙන් ඇය විශාල වන්දි මුදලක් ඉල්ලන්නට සැලසුම් කර තිබී ඇත. හමුදා ලූතිනන් කර්නල්වරයාගේ වැටුප හා වත්කම් විස්තර අනුව ඔහු විසින් විශාල වන්දියක් ගෙවන්නට ඉදිරියේදී සිද්ධවීම නිසා ඔහු එම ඉල්ලීමට අකමැත්ත පළකර තිබී ඇති අතර ඇය නඩුව ගොනු කරන්නට පෙර ඒ ගැන දෙදෙනා අතර නැවත වාදභේද හටගෙන ඇත. වන්දි මුදල ගෙවන්නට සිදුවුවහොත් තමාට අනාගතයක් නැතැයි කල්පණා කළ නිසාදෝ ලූතිනන් කර්නල්වරයා ඇයට වෙඩිතබා මරාදමන්නට කල්පණා කර ඇතැයි නිරීක්ෂණය වෙයි.
කෙසේ වෙතත්  ඉකුත් 27 වැනිදා රාත‍්‍රී කාලයේදී ඇය නිදාගන්නා කාමරය අසළ ජනේලයකින් කුරුමානම් අල්ලා ඇගේ කුසට වෙඩි තැබීම සිදු කළ ලූතිනන් කර්නල්වරයා හඳුනාගන්නට එම අවස්ථාවේ නිවසේ සිටි දරුවන් සමත්ව ඇති අතර ඒ සමගම ඔහු කළුවරේ පළාගොස් පැමිණි වාහනයට නැග ඇත්තේ බිරිය මළේ යයි සිතාගෙනයි.
එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ මුත් මියගියේ නැත. ඇය තවම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
වෙඩි තැබීමෙන් පසුව සිය රියදුරු හා සහායක සමග වාහනයෙන් නැවත පිටත්වූ ලූතිනන් කර්නල්වරයා පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත‍්‍රත්ව පාලම අසල නතරවී සිය අත තිබූ පිස්තෝලය එහිදී දියවන්නා ඔයට වීසි කර තිබේ. මේ කාරණාව ගැන කිසිවෙකුට නොකියන ලෙසද දෙදෙනාට කියා තිබේ.
දින තුනක් තිස්සේ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලූතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත‍්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී.
සැකකාර යුද හමුදා ලූතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප‍්‍රශ්න කිරීම් වලින් පසු අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.