විනාශ කරන්න වෙන් කරන
රුපියල් පන්දාහේ නෝට්ටු මාටියා ගැසූ

මහ බැංකුවේ පියන් මාට්ටු


මහජනයාගේ පරිහරණයෙන් පසු දුර්වර්ණවී භාවිතයට අපහසු තත්වයට පත්වන මුදල් නෝට්ටු එක් රැස්කර කලින් කලට විනාශ කිරීමේ ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. මෙම නෝට්ටු විනාශ කරන්නට නියම කළ පසුව මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අංශය මගින් ඒවා නිසි පරිදි ගණනය කර මිටි වලට ගොඩ ගසා විනාශ කරන ස්ථාන වෙත යොමු කෙරේ.මෙම ක‍්‍රියාවලිය අතරවාරයේ සල්ලි මිටි වලට ගොඩගැසූ තැනට වරින්වර යාමට අවසරය තිබුණ එක්තරා කාර්යාල කාර්ය සහායකයෙකු
එම මිටි මැද්දෙන් පන්දාහේ නෝට්ටු වරින්වර ඩැහැගැනීමේ ජාවාරමක් කලක් තිස්සේ සිදු කර තිබෙන බව වාර්තාවේ.
එසේ මුදල් සොරාගත් පසුව එම මුදල් මිටි නැවත පරීක්ෂා කිරීමකට ලක්නොවන නිසා ඔහුගේ හොර වැඩය කාලයක් තිස්සේ මහ බැංකු බලධාරීන්ගේ ඇස් වසා සිදු කරන්නට හැකියාව ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙම කාරණාව ගැන

පසුගිය කාලයේ ඇතිවූ සැකසහිත තත්වයක් නිසා අදාළ සේවකයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නට බැංකු බලධාරීන් පොලිසියට දන්වා ඇත. ඒ අනුව අදාළ අංශයේ දොර අසළ තිබුණ සීසීටීවී කැමරා නිරීක්ෂණය කරන්නටත් අදාළ සේවකයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නටත් අධිකරණ අවසරය මත පොලිසිය ක‍්‍රියා කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම කාමරය වෙත කාර්යාල කාර්ය සේවකයෙකු සැක සහිත ලෙස ගමන් කරන දර්ශන වරින්වර හැඳිනගන්නට හැකි අයුරුය. එම සේවකයා එලෙස ගමන් කරන දිනයට පසුදින ඔහුගේ බැංකු ගිණුමට මුදල් බැර වන ආකාරයත් පොලිසිය නිරීක්ෂණය කර තිබේ.
මේ ආකාරයට භාවිතයෙන් ඉවත දමන පන්දහසේ නෝට්ටු වලින් අදාළ සේවකයා රුපියල් ලක්ෂ 24 කට වැඩි මුදලක් කාලයක් තිස්සේ සොරාගෙන ඇත.
ඔහුගෙන් පොලිසිය සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී පවසා තිබෙන්නේ මුදල් නෝට්ටු මිටි මැද්දෙන් නෝට්ටු ඇද සොරකම කළ බවත් අවසාන පරීක්ෂාවේදී මුදල් මිටියේ මුල් හා අග අංක පමණක් පරීක්ෂා කරන බව දැන සිටි නිසා එසේ කළ බවත්ය.
සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට මහේස්ත‍්‍රාත්වරයා නියම කළා.
එම පුද්ගලයාගේ තවත් බැංකු ගිණුම් විස්තර සොයන්නටත් මහ බැංකු අංශයේ අදාළ ස්ථානයට යාමට අවසර තිබුණ අනෙක් අයවද පරීක්ෂා කරන්නටත් අධිකරණය නියම කළා.