පිළිකා රෝහලට පෙට් ස්කෑනරය ලබාගන්න මුල්වූ
මුස්ලිම් ජාතිකයා
- සිංහලයන්ගෙන් ලද සහාය අගය කරයි



පසුගිය කාලය පුරා මහරගම පිළිකා රෝහලට අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත‍්‍රය මිලට ගැනීම සඳහා අරමුදලක් පිහිටවූ කඩිජා පදනමේ සභාපති ආචාර්ය එම්එස්එච් මොහොමඞ් සිය අරමුදල තරකරගැනීම සඳහා අන් අය උදව් උපකාර කළ ආකාරය ගැන මවිත වෙමින් ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා.
රුපියල් මිලියන 200 ඉක්මවා යන තරමට එම අරමුදල මේ වනවිට ශක්තිමත්වී තිබෙන අතර සෑම තත්පර 10 කට වරක් මුදල් පරිත්‍යාගයක් සිදු කරන්නට කෙනෙකු ඉදිරිපත් වෙන ඉතා සක‍්‍රීය මට්ටමින් එය දියුණු වූ බවද ඔහු පවසනවා.
මින් වසර දෙකහමාරකට පෙර තම පුතුට පිළිකාවක් වැළඳීම නිසා ඉඩම් විකුණමින් ප‍්‍රතිකාර කළ බවත් වසරකට පමණ පෙර මහරගම පිළිකා රෝහලට ගිය අවස්ථාවේ මේ අඩුව දැක අරමුදල පිහිටුවීමට තමා මුල්වූ බවත් පසුව දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ ප‍්‍රමුඛ තවත් මාධ්‍ය මෙය වැඩිදියුණු කිරීම සඳහා කැපවී දායකවූ බවත් ඔහු පවසනවා.

තම පුතුගේ පිළිකා වෛද්‍ය වාර්තා ගන්නට පිටත රෝහල් වලින් ලක්ෂ එකහමාරක් පමණ වැය කරන බවත් ඒ වියදම සාමාන්‍ය ජනතාවට කළ නොහැකි එකක් වූ බවත් පෙනී ගියෙන් මේ අරමුදල ඇරඹූ බවද ඔහු කියා සිටී.

‘අපි කියන්නේ සංසාරේ එපා වුනා කියලා, ඇත්තෙන්ම මම සුපිරි ජිවිතයක් ගත කලේ, යාන වාහන ගෙවල් දොරවල් මේ සියල්ල බොරුයි කියලා හිතුනා, ඇත්තටම බොරුයි තමයි.පිළිකා රෝහලට ගිහාම ජීවිතයේ හැබෑව දැක්කා.

මේ අරමුදල පිහිටුවද්දි මං මුස්ලිම් කියල මාව කොන් කරේ නෑ. මේ ක‍්‍රියාවලියෙදි සංහිඳියාව දැක්කා. ඉහළම ප‍්‍රතිචාර ලැබුනා. මං හිතුවෙ නෑ ශ‍්‍රී ලාංකිකයන්ගේ රත්තරන් හදවත් මේ තරම් දුරට රත්තරන්ද කියලා.’ ඔහු අගය කරයි.

පෙට් ස්කෑනරය පමණක් නොව මහරගම පිලිකා රෝහලේ එම්ආර් අයි ස්කෑනරයක්ද නොමැති බවත් අල්ට‍්‍රා සවුන්ඞ් පරීක්ෂණ යන්ත‍්‍රය අවුරුදු 18 ක් පරණ බවත් ඔහු කියයි.
මෙ අතර පිළිකා රෝගය වැළඳුණ පුතුගේ තත්වය විමසීමේදී තම පුතුට තවම ප‍්‍රතිකාර කරන බවත් ඔහුගේ ප‍්‍රතිකාර අවසන් නැති බවත් ඔහු කියා ඇත.

බීබීසී සන්දේශය සමග ඔහු සිය අදහස් පළකර තිබුණ ආකාරය වීඩියෝව පහතින්