මේ දක්වා විවිධ විවේචන හා ආන්දෝලන ඇති කරමින් පවත්වා යන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) වෙනුවට අලුතින් රහස්‍ය වංචා සෙවීමේ කාර්යාලය (SFO) යන නමින් ආයතනයක් පිහිටුවා පුළුල් හා විධිමත්ව වංචා කටයුතු විමර්ශනය කරන්නට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකරන ලද සාකච්ඡාවලින් පසු මේ ගැන
අවධානය යොමුව තිබේ.

රාජ්‍ය දේපළ අවභාවිතය, දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් යුහුසුළුව පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ආකාරයේ රහස්‍ය වංචා සෙවීමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙයි.
පසුගිය පාලනය යටතේ සිදුවී තිබෙන දූෂණ අක්‍රමිකතා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව වහ වහා පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා මෙම රහස්‍ය වංචා සෙවීමේ කාර්යාලය (Secret Fraud Office) පිහිටුවනු ඇතැයි වාර්තා වේ.
රජයේ දේපළ අවභාවිතය සහ මහ පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙම ඒකකය පූර්ණ බලතල සහිත කාර්යාලයක් ලෙස පිහිටුවීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) අභිභවා යන තරම් බලතල හිමි මෙම ඒකකය පිහිටුවීමත් සමග මූල්‍ය අපරාධ කොට්ඨාසයද ඊට අනුයුක්ත කෙරෙන බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.