එංගලන්ත කඩේකට පිහි ආමෝරාගෙන ආ සොරුන්
බේස්බෝල් පිත්තෙන් ගසා
එළවා දැමූ පානදුරේ ලූෂාන්


එංගලන්තයේ සාප්පුවක සිදුවූ සොරකමක් වළක්වන්නට පිහි අත දරාගත් සොරුන්ට බේස්බෝල් පිත්තකින් පහරදී එළවාදැමීමේ වීරක‍්‍රියාවක් සිදු කිරීම නිසා ශ‍්‍රී ලාංකික සිසුවෙකු ගැන එරට මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබෙනවා.
28 හැවිරිදි ලූෂාන් වීරසූරිය නමැති බි‍්‍රතාන්‍යයේ සැල්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින මෙම සිසුවා අර්ධකාලීන රැකියාවක් ලෙස වයින් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරන කඩයක කැෂියර් ලෙස
සේවය කර තිබෙනවා. ඔහු සිය සවස් කාලීන සේවා මුරය ආරම්භ කර හැන්දෑවේ 7 ට පමණ එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලාච්චුවේ සියලූ මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කර ඇත.එම අවස්ථාවේ ඔවුන් කියා ඇත්තේ තමන්ගේ මව පිළිකා රෝගය උත්සන්නවී ප‍්‍රතිකාර ලබමින් පසුවන බවත් වියදම පියවාගන්නට මුදල් අවශ්‍ය බවත්ය. අධික ලෙස බීමත්ව අසාමාන්‍ය

පෙනුමකින් පැමිණි ඔවුන්ට මුදල් ලබාදෙන්නට බැරි බව ලූෂාන් පැවසූ පසු ඔවුන් පිහි අතට ගෙන ඔහුට පහර දෙන්නට උත්සාහ කළා.

එම අවස්ථාවේ තම ආරක්ෂාවට කැෂියර් පුටුව ආසන්නයේ සඟවාගෙන තිබුණ බේස්බෝල් පිත්ත අතට ගත් ඔහු සොරුන්ට පහරපිට පහර දී අඩපණ කළ අතර ඔවුන් පසුව සොරකම් කිරීම අත්හැර එතැනින් පළාගියා. පැය 48 ක් යන්නට ප‍්‍රථම සීසීටීවී සාක්ෂි නිරීක්ෂණය කර සොරකමට තැත්කළ දෙදෙනා එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. වයස 37 හා 32 සොයුරන් දෙදෙනෙකු මේ සොරකමට පැමිණි බව හෙළීව තිබුණා ඔවුන් අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි අය බවත් මුදල් සොයාගන්නට උත්සාහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය මිලට ගන්නට බවත් පොලිසිය සොයාගෙන තිබුණි.
කෙසේ වෙතත් ඔවුන්ගේ මව ඇත්ත වශයෙන්ම පිලිකා රෝගියෙකු වූ අතර මෙම දෙදෙනා අල්ලාගත් අතරවාරයේ ඇය අවසන් හුස්ම හෙළා ඇති බවද වාර්තා වුණා.
උසාවියට දැමූ සැකකරුවන් වසර 4 මාස 4 ක සිර දඬුවමකට ලක්කර ඇත.

මෙම සොරකම බේරාදුන් පානදුර ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ලූෂාන් සිය පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට ගොස් තිබුනේ 2014 වසරේදීය. ඔහු මෙරට පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු බවද වාර්තාවේ. තමා ආරක්ෂාව ගැන දෙවරක් නොසිතා ඔවුන්ට පහරදුන් බවත් මින් ඉහත මෙබඳු අත්දැකීම් ලබා නැති බවත් ලූෂාන් විස්තර කර ඇත. කෙසේවෙතත් ලූෂාන්ගේ කඩ සාප්පු ප‍්‍රධානියා ඔහුගේ ක්‍රියාව වෙනුවෙන් ස්තූති වන්තවී ඇති අතරම  පවසා ඇත්තේ එම අවස්ථාවේ ආත්ම ආරක්ෂාව වැදගත් බවත් ඉල්ලූ මුදල් දුන්නා නම් තමා ඒ ගැන ගැටලූවක් ඇති කරගන්නේ නැති බවත්ය.
සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්