සුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තාවෙයි. ඊයේ (20) පෙරවරුවේ
මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධවී තිබේ. ඔවුන් නීතිඥවරිගේ ඇඳුමට විරුද්ධව අධිකරණයට ලිපියක් මඟින් කරුණු වාර්තා කර ඇත. මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලලිත සරස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය දින කීපයක් පිජාමා වර්ගයේ ගවුමක් ඇඳ පැමිණ අධිකරණයට අගෞරවයක් වන අයුරින් කටයුතු කළ බවයි.
මේ පිළිබඳව අධිකරණය

දැනුවත් කිරීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ. 'නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීති මාලාවේ හත්වැනි පන්තිය යටතේ අධිකරණයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව" දන්වා ඇත.
නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය එය පිළිගෙන අධිකරණයට හිස නවා ඊයේ දිනයේ තිබූ අනෙක් නඩුවලටද පෙනී නොසිට අධිකරණයෙන් පිටව ගිය බවද නීතීඥ සංගමය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය තමන් ගවුමක් ඇඳ අධිකරණයට ගිය කතාව සත්‍ය බව පිළිගන්නා නමුත් ඊට නීතියෙන් අවසර ඇති බවත් ඊයේ දින තමන් අධිකරණයේ පෙනී නොසිට ගිය බව හෝ  මහෙස්ත්‍රාත්වරයා අවවාදයක් කළ බව අසත්‍ය යයි කියා තිබේ.
මහෙස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ තමන් කැමැති නම් මේ සඳහා පිළිතුරු ලබා දිය හැකි බව හා තම අධිකරණයට මේ සඳහා තීන්දු ගැනීමට හැකියාවක් නොමැති බව යැයිද ඇය දන්වා ඇත.