ණ්ඩාරගම රයිගම කර්මාන්ත ශාලාව තුළදී පුද්ගලයකුගේ අධෝමාර්ගයට වායු නළයක් ඇල්ලීමෙන් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම උතුර පදිංචිව සිටි තිදරු පියකු වන ඩබ්ලිව්.ආර්. සුමනදාස (64) නමැත්තෙකි.

ලෑලි පදම් කරන එම කර්මාන්ත ශාලාවේ අත්උදවුකරුවකු ලෙස සේවය කළ මේ පුද්ගලයා ඉකුත් 28 වැනි දින දහවල් ආහාර ගැනීම සඳහා සේවය නතර කළ අවස්ථාවේදී තවත් සේවකයකු විසින් මොහුගේ අධෝමාර්ගයට

වායු බටයක් අල්ලා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එම කර්මාන්ත ශාලාවේම සේවය කරන යන්ත්‍ර ක්‍රියාකරුවකු මියගිය පුද්ගලයා අසලින් ගමන් කිරීමේ දී කවටකමක් කිරීම සඳහා වායු පීඩන යන්ත්‍රයේ බටය ඔහුගේ ශරීරයට අල්ලා ඇති බව පොලිසිය කියයි.

ඒ සමඟම ක්ෂණයකින් එම වායු පීඩන බටය අත්උදවුකරුගෙන් උදුරාගත් යන්ත්‍ර ක්‍රියාකරු අත්උදවුකරු හැඳ සිටි කලිසමට පිටතින් පශ්චාත් භාගයට ඇල්ලීමත් සමඟ තත්පර කීපයක් තුළ අත්උදවුකරුගේ උදරය පිම්බී පිටතට නෙරා විත් ක්ලාන්තව ඇදවැටීමට යද්දී සේවකයන් ඔහුව අල්ලාගෙන වහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව යන්ත්‍ර ක්‍රියාකරු සැකපිට අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් විසිපන්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් එම දිනවල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාට රුපියල් විසිපන්දහසක ප්‍රතිකාර දීමනාවක් ගෙවන ලෙසත් නියෝග කර තිබිණි.

දින හතක පමණ කාලයක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා පෙරේදා (04දා) සවස මිය යෑම සම්බන්ධයෙන් නැවතත් ඊයේ (05දා) අධිකරණයට කරුණු වාර්තා කරන බව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතා පැවැසීය.

ඒ අනුව අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටි සැකකාර යන්ත්‍ර ක්‍රියාකරු නැවතත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ස්ථානාධිපතිවරයා පැවැසීය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස්
පරීක්ෂක මහිලාල් මහතා පරීක්ෂණ පවත්වයි.
 එම්. සී. පෙරේරා