පුද්ගලයකට පහරදී උල් ආයුධයකින් තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකට රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකත් ඔහුගේ බාල වයස්කාර පුතුත් තවත් පුද්ගලයෙකුත් ඊයේ කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට
ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේෂ්ගේ ළාබාල පුතු තනුජ නිශ්ශංකට ඇප නියමවූවත් මහේෂ් සහ අනෙක් පුද්ගලයා අද (13) දක්වා රිමාන්ඩ් කරන්නට මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් කටයුතු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාඨකයින් නොමග යවන ආකාරයේ ඇතැම් ආරංචි සමාජ මාධ්‍ය තුළ පතුරුවාහැර තිබුණත් අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව සිද්ධිය මෙසේය.
 වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ බොඩි වර්ක්ස් පර්සනල් ට්‍රේනිංග් නමැති ප්‍රසිද්ධ කාය වර්ධන මධ්‍යස්ථානය පවත්වා යන එහි හිමි කරුවූ වසන්ත කුමාර ලියනගේ මහතා කලා ශිල්පීන් සමගද සමීපව කටයුතු කරන්නෙකි.

ප්‍රකට නළුවන් නිළියන්ද ඔහුගේ ආයතනයේ පුහුණුවීම් සඳහා නිතිපතා පැමිණෙන අතර ඔහු කායවර්ධන අභ්‍යාස ගැන උපදෙස් සැපයීමට රූපවාහිනී වැඩසටහන්වලටද පෙනී සිටින අයෙකි.

ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංකවද ඔහු හොඳින් හඳුනයි. නමුත් මෑත කාලයේ ඔවුන් දෙදෙනා අතර කිසියම් විරසකභාවයක් පැනනැගී තිබී ඇත්තේ පුද්ගලික ගැටලුවක් මුල් කරගෙනයි. පසුගිය 9 වනදා රාත්‍රී කාලයේ කඩවත ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකදී මේ දෙදෙනා මුණගැසුණ අවස්ථාවේ පෙරකී ගැටලුකාරී තත්වය ගැන කථාබහක් මතුව ඇත.

මෙම කථාබහට එම අවස්ථාවේ මහේෂ් සමග පැමිණි ඔහුගේ පාසල් යන වයසේ පුතුද මිතුරෙකුද සම්බන්ධවූ අතර දුරදිග ගිය කතාව සුපිරි වෙළෙඳ සල ඇතුළේ කරගෙනයාම බාධාකාරී වූ නිසා ඔවුන් එළියටද පැමිණ බහින්බස්වීම සිදු කර ඇත.
එම අවස්ථාවේ කෝපය ඉහවහා ගිය මහේෂ් රථගාලේ නවතා තිබූ තම වාහනය වෙත දිවගොස් එය විවර කර එයින් උල් ආයුධයක් ගෙන ඇවිත් වසන්ත කුමාරට පෙරළගෙන පහරදී ඇත. එම පහර දීමට මහේෂ්ගේ පුතු මෙන්ම මිතුරාද සම්බන්ධවී ඇත. කෙතරම් ශක්තිවන්තයෙකු වුවත් තිදෙනෙකුගේ පහරදීම හමුවේ වසන්ත කුමාර දුබලවී  ඇති අතර
 පහරකෑමට ලක් වූ කායවර්ධන ශිල්පියා බිම වැටී ඇති  අතර ඔහු බරපතල තුවාල සහිතව රෝහල් ගත කරන්නට අවට සිටියවුන් පියවර ගෙන ඇත.
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 35 හැවිරිදි අවිවාහක කායවර්ධන ශිල්පි වසන්ත කුමාර ජාතික රෝහලට ඇතුළත් කරන ලදුව සිව්වැනි දිනයටත් ප්‍රතිකාර ලබමින් පසුවුවත් මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවී තිබුණි.
ඊයේ ඔවුන් තිදෙනාවම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මහර මහේස්ත්‍රාත් ශෂාන් දිනෙල් මහතා මහේෂ්ගේ පුතු වන තුන්වන සැකකරු මුදල් හා ශරීර ඇප මත මුදාහරින්නැයි ඊයේ (12) නියෝග කළේ පාසල් යන වයසේ දරුවකු බැවින් ඔහු රඳවාගැනීම අවශ්‍ය නැති බව දක්වමිනි.රුපියල් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැරියද මහේෂ් සහ මිතුරා රිමාන්ඩ් කෙරිණි.
සිද්ධිය පිළිබඳ නඩු විභාගය අදත් පැවැත්වේ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්